Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

එක්සත් ජාතීන්ගේ සාම සාධක පැවරුම්

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ඉතිහාසය

වර්ෂ 1948 දී ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ (UN) සාම සාධක වැඩසටහන මැද පෙරදිග පැවති අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ නිරීක්‍ෂණ කටයුතු සහ සටන් විරාමයන් සඳහා මැදිහත් වීම සිදුකරන ලදී. එතැන් සිට, එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ලොව පුරා බොහෝ රටවල සාමසාධක රාජකාරින් සඳහා සහභාගී වී ඇති අතර, ඉන් රටවල් 12ක් තුල අද වන විටත් අඛණ්ඩවම සාමසාධක රාජකාරින්හි නිරත වේ. එම සාම සාධක කටයුතු සඳහා 1988 දී නොබෙල් සාම ත්‍යාගය ද හිමි විය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 6 වන පරිච්ඡේදය, ගැටුම් විමර්ශනය කිරීමට සහ මැදිහත් වීමට ආරක්‍ෂක මණ්ඩලයට ඇති බලය විස්තර කරන අතර 7 වන පරිච්ඡේදය, ගැටුම් විසඳීම සඳහා ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික සහ හමුදා සම්බාධකවලට අවසර දීමේ බලය මෙන්ම හමුදා බලය භාවිතා කිරීම ගැන සාකච්ඡා කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රථම සාම සාධක කාර්යය වූයේ වර්ෂ 1948 දී අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ නිරීක්‍ෂන කටයුතු සඳහා මැද පෙරදිගට නිරීක්‍ෂකයින් කණ්ඩායමක් යෙදවීමයි. වර්ෂ 1948 මැයි මස 29 වන දින මෙම මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම දිනය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අනුස්මරණ ජාත්‍යන්තර දිනය ලෙසින් හඳුන්වනු ලබන අතර, එහිදී දිවිපිදු සියලුම එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් අනුස්මරණ කිරීම සිදුකරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ලෙස ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ දායකත්වය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් ලොව පුරා ගැටුම් පවතින රටවල සාමය පවත්වාගෙන යාමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය වී ඇත. එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාම සාධක භටයින්ගේ සහභාගීත්වය 1957 අග භාගය දක්වා දිවයයි. එහිදී සූවස් යුද්ධය අවසන් කිරීමේ පළමු සාම සාධක මෙහෙයුම සඳහා එක්සත් ජාතීන්ගේ හදිසි මෙහෙයුම් බලකාය - 1 (UNEF-1) සහ වර්ෂ 1960 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (MONUC) සාම සාධක මෙහෙයුම සඳහාත් සාම සාධක රාජකාරි සඳහා එක් වී ඇත.

දශක කිහිපයකින් පසුව, වර්ෂ 2004 දී ශ්‍රී ලංකා හමුදාව හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) පාබල බලඇණියක් යෙදවීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිය දායකත්වය නැවත ලබාදුන්නේය.

වර්තමානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL), දකුණු සුඩාන ජනරජයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය (UNMISS) සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාම සාධක රාජකාරි සඳහා යොදවා ඇති අතර, නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන කාර්යාලයේ මෙරට නිත්‍ය හමුදා උපදේශක වශයෙන් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ රාජකාරි කරනු ලබයි. පසුගිය කාලයේ ලෙබනනය, දකුණු සුඩානය සහ මාලි රාජ්‍යය යන රටවල්හි සාම සාධක රාජකාරි සඳහා හමුදා සාමාජිකයින් 3500 කට අධික පිරිසක් යොදවා ඇත. තවද, එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලවල සහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ හමුදා නිරීක්‍ෂකයින් ලෙස නිලධාරීන් 356 ක් සේවය කර ඇත.

මේ දක්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ලෙස හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) සහ එක්සත් ජාතීන්ගේ හදිසි මෙහෙයුම් බලකාය - ඊශ්‍රායලය වෙත (UNEF) සාම සාධක රාජකාරින් සඳහා හමුදා සාමාජිකයින් 20415 කට වඩා වැඩි පිරිසක් යොදවා ඇත. එහිදී ලෝක වාසීන්ගේ සාමය උදෙසා වීරෝධාර රණවිරුවන් තම ජීවිත පවා පරිත්‍යාගය කර ඇත.

සාම සාධක රාජකාරි සඳහා භටපිරිස් තෝරාගනු ලබන ක්‍රියාවලියේදී මානව හිමිකම් උල්ලංඝනය නොකර සිටිම අනිවාර්ය වන අතර, සුදුසුකම් සපුරාලන භටපිරිස් සඳහා එක්සත් ජාතීන්ගේ ‘නිල් හිස්වැසුම’ පැළඳීමට අවස්ථාව උදා වේ. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සිදුකරනු ලබන සියළුම රටවල් මෙම ක්‍රියාදාමය අනුගමනය කරනු ලබන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද එම ක්‍රියාවලියට අනුගත වෙමින් සාම සාධක රාජකාරීන් සඳහා භටපිරිස් යොමු කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා භටපිරිස් තෝරා ගැනීමේදී අවශ්‍ය නිෂ්කාශන කටයුතු සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම අනෙකුත් සන්නද්ධ සේවා සහ පොලිසිය ශ්‍රී ලංකා හමුදාවට සහයෝගය ලබාදෙයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම කාර්යභාරය ඉටු කිරීමේදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ සුහඳශීලීත්වයෙන් කටයුතු කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ හදිසි මෙහෙයුම් බලකාය 1 - ඊශ්‍රායලය (UNEF-1) සහ වර්ෂ 1960 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (MONUC) සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ සේවය ලබාදී ඇති අතර, එතැන් පටන් අඛණ්ඩවම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නිලධාරීන් 1106 ක් සහ සෙසු නිලයන් 15186 ක් හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සේවය කර ඇත. නිලධාරීන් 146 සහ සෙසු නිලයන් 1927 ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේද, නිලධාරීන් 147 සහ සෙසු නිලයන් 470 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් මූලස්ථානයේ (UNMISS) සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ 2 වන මට්ටමේ රෝහල් හි නිලධාරීන් 78 ක් සහ සෙසු නිලයන් 916 ක් සාම සාධක රාජකාරි සිදුකර ඇත.

වර්ෂ 2023 මැයි මාසය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින් 20415 ක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නිරත වෙමින් තම වගකීම් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස ඉටු කර ඇති අතර, ඔවුන්ගේ එම කැපවීම සහ විනයගරුක වෘත්තීයභාවය එක්සත් ජාතීන්ගේ ඇගයීමට ද ලක්වී ඇත.

වර්ෂ 2004 දී ආරම්භ කරන ලද සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය (IPSOTSL) මගින් එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටි, රීති සහ රෙගුලාසි මෙන්ම නියම කර ඇති ප්‍රමිතීන් පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම නිසා ශ්‍රී ලංකා හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ ඕනෑම සාම සාධක රාජකාරි කටයුත්තක් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.