පරම වීර විභූෂණය

පරම වීර විභූෂණය ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන්හි සාමාජිකයින් උදෙසා පිදෙන ඉහළම ගණයේ වීර පදක්කම වන අතර, මෙය බ්‍රිතාන්‍යයේ ඉහළම වීර සම්මානය වන ‘වික්ටෝරියා ක්‍රොස්’ හා ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළම වීර සම්මානය වන ‘මෙඩල් ඔෆ් හොනර්’ සම්මානයන්ට සමාන වේ. ස්වකීය ජීවිතයටද ආත්මාරක්‍ෂාවටද සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා සිය සඟයන්ගේ ජීවිතාරක්‍ෂාව නොහොත් සිය බලකායේ කාර්ය අරමුණ මුදුන්පත් කරගැනීම උදෙසා සක්‍රීය සේවා කාලය තුලදී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණපාමින් වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද, ක්‍රියාවන්හි පෞද්ගලිකවම යෙදුනා වූද, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම විභූෂණය ප්‍රදානය කළ යුත්තේය. සෑම විභූෂණලාභියෙකුටම තම නමට පසුව ‘පීඩබ්ලිව්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.
වීරෝදාර විභූෂණය

මරණාභිමුඛ වූ අයෙකුගේ හෝ අයවලුන්ගේ ජීවිතය / ජීවිත බේරාගැනීමේ හෝ ආරක්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව ස්වකීය ආත්මාරක්‍ෂාවට සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද, අසෛනික ස්වභාවයේ ක්‍රියා අරබයා හෝ දියෙහි ගිලීමට නැත්නම් ගින්නට ගොදුරු වූ ජීවිත බේරාගැනීමේදී ද පතල්, ගංවතුර හා වෙනත් එවැනි උපද්‍රවවලට භාජනය වූ අය බේරාගැනීමේ කටයුතුවලදී ද තමාට සිදුවිය හැකි බරපතල ශාරීරික හානිය ගැන හෝ ජීවිත අන්තරාය ගැන හෝ නොතකා අති විශිෂ්ඨ වූ ක්‍රියාවක හෝ ක්‍රියාදාමයක යෙදෙන්නා වූද, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් යෝග්‍ය යැයි නිර්දේශ කරනු ලබන්නා වූද, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම විභූෂණය පිරිනැමිය යුත්තේය. සෑම විභූෂණලාභියෙකුටම තම නමට පසුව ‘ඩබ්ලිව්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත.
වීර වික්‍රම විභූෂණය

සක්‍රීය සේවයේ යෙදී සිටියදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සතුරාට මුහුණපා සිය සගයන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමේ හෝ සිය බලසේනාවේ කාර්ය අරමුණ මුදුන්පත් කරගැනීම පහසු කරවීමේ අභිප්‍රායෙන් ආත්මාරක්‍ෂාව ගැන නොතකා තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද, සෛනික ස්වභාවයේ උත්කෘෂ්ඨ ක්‍රියා අරබයා හෝ දියෙහි ගිලීමට නොහොත් ගින්නට ගොදුරු වූ ජීවිත බේරාගැනීමේදී ද පතල්, ගංවතුර හා වෙනත් එවැනි උපද්‍රවවලට භාජනය වූ අය බේරාගැනීමේ කටයුතුවලදී ද තමාට සිදුවිය හැකි ශාරීරික හානිය ගැන හෝ ජීවිත අන්තරාය ගැන හෝ නොතකා හුදු දයාපරවශම උත්කෘෂ්ඨ ක්‍රියාවක නොහොත් ක්‍රියාදාමයක යෙදුනා වූද, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් යෝග්‍ය යැයි නිර්දේශ කරනු ලබන්නා වූද, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම විභූෂණය ප්‍රදානය කළ යුත්තේය. සෑම විභූෂණලාභියෙකුටම තම නමට පසුව ‘ඩබ්ලිව්ඩබ්ලිව්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත.
රණ වික්‍රම පදක්කම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූද, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලික හෝ සාමූහිකව කරන ලද වීර ක්‍රියාවන් අරබයා, මෙම ප්‍රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, සියලුම පුද්ගලයන්ට මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘ආර්ඩබ්ලිව්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.
රණ ශූර පදක්කම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූද, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම ප්‍රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද, සියලුම පුද්ගලයන් වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘ආර්එස්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.
විශිෂ්ඨ සේවා විභූෂණය

විසිපස් වර්ෂයකට නොඅඩු සුවිශේෂ වූද, උදාර වූද, අවනත වූද, ගණන්ගත හැකි සේවා කාලයක් ඇත්තා වූත්, නිර්මල පෞද්ගලික හා සෛනික පැවැත්මක් ඇත්තා වූත්, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය බලසේනාවල නියුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙම විභූෂණය පිරිනැමිය යුත්තේය. සෑම විභූෂණලාභියෙකුටම තම නමට පසුව ‘වීඑස්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.
උත්තම සේවා පදක්කම

ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල නියුක්ත, ඉදින් අවුරුදු පහලොවකට නොඅඩු ගණන්ගත හැකි සේවාකාලයක් ඇත්තා වූද, අකිලිෂ්ට පෞද්ගලික චරිතයක් හා සෛනික චරිතයක් පදක්කම ප්‍රදානය සඳහා නිර්දේශ කරන දිනයට සම්පූර්ණ කර ඇත්තා වූද, සෑම තරාතිරමකටම අයත් පුද්ගලයින්ට, ඔවුන්ගේ සුවිශේෂී දක්‍ෂතාව, කුසලතාව හා ආදර්ශමත් පැවැත්මෙන් උපලක්‍ෂිත වූ අගනා සේවයත්, රාජකාරිය කෙරෙහි දක්වන ලැදි බවත් අරබයා උපහාර වශයෙන් මෙම පදක්කම පිරිනැමිය යුත්තේය. සෑම පදක්කම්ලාභියෙකුටම තම නමට පසුව ‘යූඑස්පී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත.
විදේශ සේවා පදක්කම

ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් පුද්ගලයන් හට විදේශගත සෛනික මෙහෙවරක් නොහොත් සංග්‍රාම කාර්යයක යෙදෙමින් දිවයිනේ පාරම්පරික මුහුදු තීරයෙන් පිටතදී ඉටුකරන ලද සක්‍රීය සේවය වෙනුවෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය යටතේ මෙහෙයවනු ලබන යුද්ධ හමුදාමය හෝ සාමය ආරක්‍ෂා කිරීමේ ක්‍රියාන්විත රාජකාරිවලට අදාළ සේවාවන් ඉටුකර ඇති අයවලුන් වෙනුවෙන් මෙම පදක්කම පිරිනමනු ලබන්නේය.
ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම - 1972

1972 මැයි මස 22 වන දින හා ඉන් පසුව සේවයේ යෙදී සිටියා වූ හා අවුරුදු 12ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්තා වූද, යුද්ධ, නාවික හා ගුවන් හමුදා නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවන්හි ඕනෑම නිලයක අයවළුන් මෙම පදක්කම ලැබීමට හිමිකම් ඇත්තාහ. පදක්කම ප්‍රදානය කිරීමෙන් පසු අවුරුදු 08 ක සේවයක් සම්පූර්ණ කරන්නා වූ පදක්කම්ලාභීන්ට සන්ධාරයක් ප්‍රදානය කරනු ඇත. පදක්කම ලැබීම සම්බන්ධ අවශ්‍ය සේවා සුදුසුකම් අඛණ්ඩ සේවයක් විය යුත්තේය. සේවය අත්හැරයාමේ හෝ නිවාඩු නැතිව නොපැමිණි කාලසීමාවන්ද, රඳවා තබාගැනීමේ හෝ සිර දඬුවම් පිට සිටි කාලසීමාවන්ද සේවා සුදුසුකමට පිලිගත නොහැක.
දේශපුත්‍ර සම්මානය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් වූද, ක්‍රියාන්විත නිරතවීම්වලදී සතුරු ක්‍රියාවලින් රණක්‍ෂිතයට පත්වූ සහ එවැනි තුවාලවීම් අවම වශයෙන් ‘මධ්‍යස්ථ ලෙස බරපතල’ බවට වෛද්‍ය බලධාරීන් විසින් වර්ගකරන ලද හෝ එවැනි තුවාලවීම්වල හෝ සතුරු ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් මියයන්නා වූද මෙම ප්‍රදානය ලැබීමට යෝග්‍ය යැයි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද සියළුම පුද්ගලයින්ට මෙකී පදක්කම ප්‍රදානය කළ යුත්තේය.
උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම

පහත සඳහන් ප්‍රදේශයන්හි 1983 ජූලි මස 23 දින සිට වර්ෂ තුනක එකතු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සන්නද්ධ සේවා අයවළුන් හට මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය;
(අ) යාපනය, වවුනියාව, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්ක. (ආ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම නුවර ගම්පළාත (මධ්‍යම) සහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ. (ඇ) පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ. (ඈ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ කංකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.රිවිරැස මෙහෙයුම් පදක්කම

වර්ෂ 1995 ඔක්තෝබර් මස 17 වැනි දින සිට වර්ෂ 1995 දෙසැම්බර් මස 05 වැනි දින දක්වා වූ කාලය තුල රිවිරැස මෙහෙයුම I හි ක්‍රියාකාරීව සහභාගී වූ රාජ්‍ය ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති, සන්නද්ධ සේවාධිපතීන්, පොලිස්පති, සක්‍රීය සේවයේ නිරත හමුදා අයවළුන් ඇතුළු සිවිල් වෛද්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය, පොලීසියේ අය සහ සන්නද්ධ සේවාවන් විසින් සේවයේ යොදවන ලදුව මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙහිලා ක්‍රියාකාරීව සහභාගී වූ සිවිල් අය වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේය.