Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2024 20:02:53 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රන් අස්වනු නෙලීමේ මංගල්‍යය පවත්වයි

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 8.5 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරුයායේ වී අස්වනු නෙලීමේ මංගල්‍යය අද (පෙබරවාරි මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්හි සහභාගීත්වයෙන් චාම් උත්සවයකින් සිදුවිය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ අස්වනු නෙලීමේ උත්සවයට සහභාගි විය.

මීට මාස කිහිපයකට ප්‍රථම වී බීජ වැපිරූ සොල්දාදුවන් කුඹුරට බැසීමට ප්‍රථම අස්වනු නෙලීමේ සම්ප්‍රදායික හා ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් මංගල වී අස්වැන්න නෙලාගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟපෙන්වීම මත 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් විසින් මෙම කුඹුරු අක්කර 8.5 ක භූමි ප්‍රමාණය අස්වද්දන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකාය වෙතින් දැනට දිවයින පුරා අක්කර 7500 ක් ආවරණය කරමින් ගොවිපළවල් 20 ක් පවත්වාගෙන යන අතර, ඉන් අක්කර 450 ක් පුරාවට වී වගාකිරීම සිදුකරනු ලබයි. තවද, විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන සහ සත්ත්ව පාලන ව්‍යාපෘති නිෂ්පාදනයන් සිදුකරනු ලබමින් එම ගොවිපළවල් තුළින් නෙලාගනු ලබන අස්වනු සහ සත්ත්ව නිෂ්පාදන යුද්ධ හමුදා සාමාජිකයන් අතර සහනදායි මිළ ගණන් යටතේ අලෙවි කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරීතුමන් සිය පූර්ණ දායකත්වය ලබාදුන්හ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම අස්වනු නෙලීමට සහභාගී වූහ.