Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2024 21:17:26 Hours

ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරත මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සුහඳ සංචාරයක නිරත මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් (Lieutenant General Abdul Raheem Abdul Latheef) පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 8) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයු හමුවිය.

මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අවස්ථාවේදී එතුමන් පිළිගනිමින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල පිළිගැනීමේ උත්සවයක් සහ සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංචාරයේ නිරත මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වාදීමෙන් අනතුරුව සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් එතුමන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටියහ.

මෙම සුහඳ හමුවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායට වැදගත් වන ද්වීපාර්ශ්වික කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කෙරුණු අතර, තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකෙරිණි. සුහඳ හමුවෙන් පසුව, මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් හා එතුමන් අතර සුහදත්වය හා අනෝන්‍ය අවබෝදය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති මෙම සුහඳ හමුව සඳහා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ මෙහෙයුම් සහ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරල් හසන් ෂාහිඩ් (Brigadier General Hassan Shahid) සහ ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් (and Colonel Hassan Amir) සහභාගී වූහ.