Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th February 2024 22:16:37 Hours

76 වන ජාතික නිදහස් දිනය ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් සමරයි

‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ 76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (04) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, ආරක්‍ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය හා සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.

76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් සුළු මොහොතකට පසුව ආරම්භ විය. එම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමන්, කථානායකතුමන්, අගවිනිසුරුතුමන්, අද්මිරාල් ඔෆ් ද ‍‍‍‍ෆ්ලීට්, මාෂල් ඔෆ් ද එයාර් ෆෝ(ර්)ස්, ජනාධිපති හා අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පතිතුමන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ. උත්සව අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු ශ්‍රේත්ත තාවිසින් (Srettha Thavisin ) මැතිතුමා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි විය.

උත්සව පරිශ්‍රය වෙත යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් සහ පොලිස් අශ්වාරෝහකයන් පෙරටුකරගත් වර්ණවත් පෙළපාලියකින් සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් එහිදී ගරු අග්‍රාමාත්‍යතුමන්, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් ධජ එසවීමේ පිඨිකාව වෙත කැටුව යෑමෙන් අනතුරුව මඟුල් බෙර වාදන සහ සංඛ නාද මධ්‍යයේ එතුමන් ජාතික ධජය එසවීය. විවිධ සංස්කෘතික ආචාරධර්මයන් නියෝජනය කරන පාසල් සිසු සිසුවියන් විසින් ස්වාධීන ජාතියක් ලෙස අභිමානවත් සහ දේශප්‍රේමී හැගිම් උද්දීපනය කරමින් ජාතික ගීය ගායනා කරන ලදී.

පාසල් සිසුවියන් කණ්ඩායමක් විසින් අනතුරුව, ‘ජයමංගල ගාථා’ සහ ‘දේවෝ වස්සතු කාලේන’ ශ්ලෝකය ගායනා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කළහ. පසුව, මව්බිම සහ ජාතියේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමේ උදාර මෙහෙවර පෙරදැරිව රට වෙනුවෙන් දිවිපිදූ සියලු දේශප්‍රේමීන් සහ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුසුකරමින් ත්‍රිවිධ හමුදා සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් වෙත පුද කරනු ලැබීය.

පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් එස්.ආර්.බී.අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෙසුනිලයන්, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්, සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින්, සේවයේ නිරතව සිටින, විශ්‍රාමික සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් සැදුම්ලත් වර්ණවත් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන ආචාර පෙළපාලියේ මූලිකත්වය ගෙන ගමන් කරනු ලැබීය.

නිදහස් දින පෙළපාලිය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ගොඩබිමෙහි මෙන්ම ජලයේ ද සිදුකරනු ලබන ක්‍රියාන්විතයන් සඳහා භාවිතා කරනු ලබන සන්නද්ධ රථ රැසක් එක්කර තිබිණි.

76 වන නිදහස් දිනයට අභිමානයක් එක්කරමින් යුද්ධ හමුදා කමාන්ඩෝ බලකාය, විශේෂ බලකාය, යුද්ධ හමුදා කාන්තා බලකාය, නාවික හා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සැදුම්ලත් පැරෂුට් භටයින්ගෙන් සමන්විත සංදර්ශනයක් පැවැත්වූ අතර, අනතුරුව පෙරඅපර දෙදිග සංස්කෘතික නර්තනාංගයන්ගෙන් උත්සවය වඩාත් අලංකාරවත් විය.

ත්‍රිවිධ හමුදා සෙබළුන්, පොලිස් නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළුව 6,863 දෙනෙකු නිල ඇඳුමින් සැරසී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත සිය ගෞරවාචාරයන් පුදකළ අතර, නිදහස් දින උත්සවය වර්ණවත් කිරීම සඳහා පාසල් සිසු සිසුවියන් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් ද සිය දායකත්වය දැක්වූහ. උත්සවය සමාප්තියේ සියලු ආගම් නියෝජනය කරමින් පාසල් සිසුවියන් ජාතික ගීතය දමිළ බසින් ගායනා කරනු ලැබූහ.

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස් ‘සයුර’ නෞකාවේ සිට වෙඩිමුර 25 ක් තබමින් ජාතියට උත්තමාචාරය පුදකළහ.