Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2024 16:13:57 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද පොදු ක්‍රීඩා පිටිය ජනතා අයිතියට

ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද පොදු ක්‍රීඩාපිටිය පසුගිය ඉරිදා (ජනවාරි මස 21) දින නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත්කරන ලදී. එම අවස්ථාවට වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූහ.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව යටතේ රාජකාරියෙහි නියුතු 4 (ස්වෙච්ඡා) සහ 7 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා භටපිරිස්හි තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන්, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍යමය අනුග්‍රාහකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලැබූහ.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යතුමන් විසින් එහිදී, මෙම ව්‍යපෘතිය නියමිත කාලසීමාවේදී අවසන් කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය කෘතවේදීත්වය පුදකරනු ලැබීය. අනතුරුව, එතුමන් ස්වාභාවික විපත්වලදී ප්‍රදේශයේ ජනතාවට මෙම ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාපිටිය මඟින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව ද අවධාරණය කරනු ලැබීය.

මෙම ක්‍රීඩාපිටියට අලංකාරත්වයක් සහ අභිමානයක් එක්කරමින් ඒ අසළ ස්ථාපිත භාවිතයට ගත නොහැකි Saladin සන්නාහ සන්නද්ධ රථයක් සහ MV4 වර්ගයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ රථයක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ද සහභාගි වූහ.