Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2024 20:20:11 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ වර්ණ ප්‍රධානෝත්සවය - 2024, උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් පවත්වනු ලැබූ ‘ඉංජිනේරු බලකා වර්ණ ප්‍රධානෝත්සවය - 2024’, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පවත්වන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. මෙම උත්සවය පැවැත්වීමේ මූලික අරමුණ වනුයේ ඉංජිනේරු බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීමයි.

2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ජාත්‍යන්තර, ජාතික, ආරක්‍ෂක සේවා, අන්තර් රෙජිමේන්තු සහ මලල ක්‍රීඩා ඉසව්වලදී, ක්‍රීඩා ඉසව් 24 ක් නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ ඉංජිනේරු බලකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 107 දෙනෙකු වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ සමස්ත ජාතියටම කීර්තියක් ගෙන ඒම වෙනුවෙන් ඔවුන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් මෙම උත්සවයේදී වර්ණ ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාවට සැපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ජෙනරල් එන්.යූ.එම්.එම්.ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.

උත්සව කටයුතු ආරම්භ කරමින් රෙජිමේන්තු ගීතය ගායනා කර රෙජිමේන්තුවේ අභිමානවත් ඉතිහාසය සහ මේ දක්වා පැමිණි ගමන් මඟ දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම හා වර්ණ ප්‍රදානය කිරීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කෙරිණි. අනතුරුව, උත්සවය පැවැත්වීමේ අරමුණ සහ පිළිගැනීමේ කතාව බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්, ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් සහ එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත වර්ණ ප්‍රධානය කිරීමට එක් වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම අවස්ථාවේදී, ඉංජිනේරු බලකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් වෙත ලබාදෙනු ලැබීය.

උත්සව කටයුතු සමාප්තියේදී ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් විසින් ස්තුති කථාව සිදුකරමින් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා දායකත්වය ලබාදුන් සියලු දෙනා වෙත කෘතවේදීත්වය පළ කරන ලදී. අනතුරුව, වර්ණ ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ සම්භාවනීය අමුත්තන් සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක්වූ අතර, මෙමගින් ඉංජිනේරු බලකා සාමාජිකයන් අතර ඇති සුහදත්වය වර්ධනය කරගැනීමට අවස්ථාව උදාවිය.