10th November 2023 21:43:08 Hours
නේපාලයේ කත්මන්ඩු නුවර ‘Konrad Adenauer Stiftung’ සහ ‘Consortium of South Asian Think Tanks’ (COSATT) එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSS) කාර්යයේ නියුතු අධ්යක්ෂ ජෙනරාල් කර්නල් නලින් හේරත් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින දේශනයක් පවත්වන ලදී.
‘COSATT’ යනු දකුණු ආසියාවේ ප්රමුඛ පෙළේ අන්තර් බුද්ධි මණ්ඩපයක් ලෙස සැලකෙන අතර, එය ආසියානු කලාපයට විවිධ කරුණු සහ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරයි. කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ සාමය ගොඩනැගීම සඳහා සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා මෙම අන්තර් බුද්ධි මණ්ඩපය කටයුතු කරයි.
සම්මන්ත්‍රණයේදී කර්නල් නලින් හේරත් ‘Two Years after the Pandemic - A World In Crisis’ යන මැයෙන් දේශනයක් පවත්වමින් ලෝකයේ යුද්ධ ඇතිවීම, විරැකියාව, සැපයුම් දාම අඩාල වීම සහ කෘතිම බුද්ධිය වැනි අභියෝගවලට මුහුණ දෙන බවත්, කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ඉදිරියේදී රැකියා මිලියන 300ක් පමණ අහිමි වනු ඇතැයි ඇස්තමේන්තු ගතකොට ඇති බවත් ප්‍රකාශ කළේය.
දේශනය සිදුකරමින් එතුමන් දකුණු ආසියාතික රටවලට එහි බලපෑම පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වීය.
සම්මන්ත්‍රණයේදී රුසියාව සහ යුක්රේනය මෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනයේ, හමාස් සංවිධානය අතර පවතින යුද්ධයන් සමඟින් ලෝකය වර්ථමානයේ මුහුණ දී සිටින විවිධ අභියෝග හරහා ඉදිරියට ගමන් කිරීමේ විවිධ ක්රමෝපායන් පිළිබඳව දකුණු ආසියාතික රටවල ප්‍රවීණයන් තම අදහස් දැක්වූහ.
මැදපෙරදිග අර්බුදය, ක්වාඩ්, චීනයේ BRI, ඉන්දු - පැසිෆික්, තායිවානය, රුසියාව-යුක්රේන යුද්ධය සහ දේශගුණික අර්බුදය භූගෝලීය දේශපාලනය කෙරෙහි බලපාන බව කර්නල් නලින් හේරත් වැඩිදුරටත් පැවසීය.
ඉන්දියාව නියෝජනය කරමින් මේජර් ජෙනරල් දිපංකර් බැනර්ජි (Major General Dipankar Banerjee), ආරක්ෂාව, ගැටුම් කළමනාකරණය සහ සාමය පිළිබඳ කාන්තා අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන මල්ලිකා ජෝශප් (Mallika Joseph), ඉන්දීය පදනමේ අවදේශ් මාතුර් (Avadesh Mathur), ස්විට්සර්ලන්තයේ හිටපු නේපාල තානාපති ෂම්බු රාම් සිම්ඛදා (Shambhu Ram Simkhada) සහ ඉන්දියාවේ ගීතා මාධවන් (Geeta Madhavan) ඇතුළු ප්‍රවීණ විද්වතුන් සමුළුව අතරතුර ද සිය අදහස් පළ කළේය.
කර්නල් හේරත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෙක් මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකි. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ සහ ප්‍රකාශක ලෙසද කටයුතු කරයි.