Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2023 18:41:41 Hours

යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකාවාසීන් දශක තුනකට අධික කාලයක් පුරාවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවිඳිමින් සිටි යුගය අවසන් කරමින් මව්බිමට තිරසාර සාමය උදාකරදීම වෙනුවෙන් ‘ජාතියේ ආරක්‍ෂකයා’ වශයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබූ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඔක්තෝබර් මස 10 දිනට වසර 74 ක් සැපිරේ. එය සමරනු වස් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

යුද්ධ හමුදා ධජය සහ සියලුම රෙජිමේන්තු හා ඒකක ධජයන්ගෙන් වර්ණවත් වූ සැමරුම් උත්සව පරිශ්‍රය වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ පැමිණීමත් සමඟ සැමරුම් උත්සවයේ සමාරම්භය සනිටුහන් විය.

උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එල්.එච්.සී.ආර් සිරිවර්ධන ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සමඟින් ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භූමිය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී එක්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව යුද්ධ හමුදා ධජය ඔසවමින් උත්සවයේ ආරම්භය සනිටුහන් කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබීය.

මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් පසුව මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය, යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීයව පවතින බව විදහා පාමින් දිවිපිදූ සියලු රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබූහ.

මෙවර යුද්ධ හමුදා දින පෙළපාලියේ අණදෙන නිලධාරී වශයෙන් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් එස්.පී මලවරගේ ආර්එස්පී යූඑස්පී අයිජී ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරින් 85 දෙනෙකු සහ සෙසුනිලයන් 650 දෙනෙකු සහභාගි වූහ. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පෙළපාලිය පරික්‍ෂා කිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමිණි. මෙම උත්සවයට සුවිශේෂීත්වයක් එක්කරමින්, යුද්ධ හමුදාවේ අභිමානය වෙනුවෙන් කැපවූ සේවයක නිරත වූ යුද්ධ හමුදා සාමාජිකයින් 43 දෙනෙකු වෙත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡන පළඳවන ලදී. එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ නිර්භීතභාවය, අවංකභාවය මෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් හදිසි අවශ්‍යතාවයන්හිදී සිදුකළ ජාතික මෙහෙවරයන් ඇගයීමට ලක්කරමින් මෙම ප්‍රශංසන්නාත්මක ලාංඡන ඔවුන් වෙත පිරිනමනු ලැබීය.

සංවත්සර උත්සවය අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, දිවංගත සහ රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සිය උපහාරය පුදකළ අතර, අනාගතයේදීත් මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවූ සේවය අඛණ්ඩව ලබාදෙන ලෙස ප්‍රකාශ කරනු ලැබීය. එමෙන්ම, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම තහවුරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට යුද්ධ හමුදාවක් වශයෙන් ඉටුකල යුතු කාර්ය භාර්යය සැමවිටම කැපවීමෙන් යුක්තව සිදුකල යුතු බව ද එතුමන් අවධාරණය කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සම්පත් කළමනාකරණයෙහිලා ආදර්ශයක් වීමට නිරන්තරයෙන් උත්සාහ කරන අතර, ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජාතික ප්‍රයත්නයන් උදෙසා උපරිම සහයෝගය ලබා දෙන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර සැමරුම් උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් මෙන්ම නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් එක්වූහ.