Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2023 16:08:46 Hours

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් විසුරුවා හරින ලද ස්වේච්ඡා බලඇණිවල සේවය අගයයි

මෑතකදී විසුරුවා හරින ලද ස්වේච්ඡා බලඇණිවල අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ සේවය ඇගයීම සඳහා උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා බහුකාර්ය ශාලාවේදී පවත්වනු ලැබීය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

විසුරුවා හරින ලද ස්වේච්ඡා බලඇණිවල අණදෙන නිලධාරීන් විසින් එම ඒකකයන්හි ධජයන් නිල වශයෙන් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් වෙත භාර දෙන ලදී. එහිදී මානූෂීය මෙහෙයුම ආරම්භ වූ කාලයේ සිට අවසන් වූ කාලය දක්වා කැපවීමෙන් යුතුව ලබාදුන් සේවය වෙනුවෙන් සියලුම ඒකකයන්හි රාජකාරි කරනු ලැබූ අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කරන ලදී.

එම ඒකකයන්හි අවසාන අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වශයෙන් යුද්ධ හමුදාවේ අරමුණු කරා ළඟාවීම සඳහා තම ඒකකවලට ලබාදුන් මගපෙන්වීම වෙනුවෙන්ද එහිදී ප්‍රශංසා හිමිවිය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් තම දේශනය සිදුකරමින් මානූෂීය මෙහෙයුම නිමා කර සාමය උදාකරදීමට දැක්වූ දායකත්වය සඳහා අණදෙන නිලධාරීන්ට සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ට සිය හෘදයාංගම ස්තූතිය පුද කරමින් අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

උත්සවය අවසානයේදී ඊට සහභාගී වූ සියලුම දෙනා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියහ.

එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.