Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2023 07:10:14 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන් මාලාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 511 පාබල බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පුත්තූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, එක් සිසුවෙකු සඳහා රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාර්සලය බැගින් පරිත්‍යාග කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව එම පාසල් පුස්තකාලය වෙත ඉංග්‍රීසි පොත් 300 කට අධික ප්‍රමාණයක් ද පරිත්‍යාග කෙරිණි. ඕස්ට්‍රේලියාවේ වැඩවසන අමරපුර ශ්‍රී ධම්ම රක්ඛිත පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පණ්ඩිත දිගාමඩුල්ලේ විමලානන්ද හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශාක්‍යා තරුණ සමූහයේ කාරුණික අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

521 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඕස්ට්‍රේලියාවේ ශාක්‍යමුණි විහාරස්ථානයේ සහයෝගය මත පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 18) දින වෙල්වෙටිතුරෙයි, කරවෙඩ්ඩි ශ්‍රී නාරද විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් තවත් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදි, එක් පාර්සලයක වටිනාකම රුපියල් 5000/= බැගින් වූ පාසල් උපකරණ කට්ටල සිසු සිසුවියන් 58 දෙනෙකු වෙත පිරිනමනු ලැබීය.

523 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ඕස්ට්‍රේලියාවේ ශාක්‍යමුණි විහාරස්ථානයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණූ පරිත්‍යාග වැඩසටහනේ තවත් අදියරක් ලෙස නාවට්කුලි ලක්දරු පෙර පාසලේ ළමුන් 28 දෙනෙකු වෙත රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල බෙදාදුන්හ.

මෙම සියලු පරිත්‍යාග වැඩසටහන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරිණි.

51 සහ 52 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක කර්නල් බී.ඩී.ටී.ඩී. ජයරත්න පීඑස්සී, 511 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එන්.බී.ඒ.යූ.කේ. නිශ්ශංක ආර්එස්පී සහ එම බලප්‍රදේශයේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන් විසින් මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සහ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත් හක්මන සිරිසුමන හිමිපාණන්, පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමිපාණන්, යාපනය ශ්‍රී නාගවිහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමිපාණන්, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් ද සහභාගී වූහ.