Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 20:36:42 Hours

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් ‘Artificer’ පාඨමාලාව හඳුන්වාදෙයි

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් මාස හයක් පුරා පැවැත්වීමට නියමිත ‘Artificer’ පාඨමාලාව සඳහා සුදුසුකම් සපුරාලීමේ කාර්මික කළමණාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 11) දින ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි.

ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය මත එම පාඨමාලාව පැවැත්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සිදුකරනු ලබයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රියාත්මක වන විවිධ ක්‍ෂේත්‍රයන්හී ප්‍රවීණයන් වෙත ලබාදෙන ‘Artificer’ සුදුසුකම් සහතිකය, මෙරට ආර්ථික පුනර්ජීවනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර, විවිධ වෘත්තීය ක්‍ෂේත්‍රයන්හී නිපුනතාවයන්ගෙන් සහිත යුද්ධ හමුදා සාමාජිකයන් හට වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට මෙමඟින් අවස්ථාව හිමිවේ.

මෙම පාඨමාලාව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරයි.

යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පවත්වනු ලබන මෙම පාඨමාලාවේ දෙවන අදියර 2023 සැප්තැම්බර් මස 11 දින ආරම්භ කරනු ලැබු අතර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ බළලත් නිලධාරීන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාඨමාලාව පැවැත්වේ. තාක්‍ෂණික විශේෂඥතාවයන් සහිත යුද්ධ හමුදා සාමාජිකයන් සවිබල ගැන්වීම, විවිධ ක්ෂේත්‍රයන් තුළින් ඔවුන්ගේ හැකියාවන් ඔප්නැංවීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්වේ.

මෙම අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකා - කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ ප්‍රධානි ප්‍රභාත් සිරිසේන මහතා, පාඨමාලා සම්බන්ධීකාරක රෝහිණී චන්ද්‍රලතා මෙනවිය සහ K- Tec ආයතනයේ පුහුණු නිලධාරි රවීන් පද්මජිත් මහතා සහභාගී වූහ.