Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2023 22:03:54 Hours

අයහපත් කාලගුණික තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සහන

අයහපත් කාලගුණික තත්ත්වයෙන් වනාතමුල්ල ඇතුළු කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් 14 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 03) දින වනාතමුල්ල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට පිසූ ආහාර බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහනේදී, ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නිවෙස්වලින් පිටතට යාමට නොහැකිව සිටි පවුල් 08 ක සාමාජිකයින් 47 දෙනෙකු වෙත ආහාරපාන පිරිනැමීම සිදුකෙරිණි.

අධික වර්ෂාපනය හේතුවෙන් එදිනම පිටකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය හරස් කරමින් ගසක් කඩා වැටී තිබූ අතර එම හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට සහ ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධා එල්ල විය. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහයෝගය මත 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම ගස ඉවත්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරනු ලැබීය.

14 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්.පී. ජයසිංහ ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත මෙම ආහාර පාර්සල් බෙදාහැරීමේ වැඩසටහන සහ ආපදා සහන මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණී.