Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th September 2023 15:41:39 Hours

ප්‍රතිසංස්කරණ කටයුතු නිමකළ ‘කාටා පිල්ලෙයාර්’ හින්දු කෝවිල් පරිශ්‍රය නැවත විවෘත කෙරේ

මුලතිව්, පුදුකුඩිඉරුප්පු, කොම්බාවිල් ප්‍රදේශයේ වැසියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් ‘කාටා පිල්ලෙයාර්’ හින්දු කෝවිල් පරිශ්‍රයේ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

‘කාටා පිල්ලෙයාර්’ හින්දු කෝවිල් පරිශ්‍රයේ සිදුකරනු ලැබූ ප්‍රතිසංස්කරණ කටයුතු ඇගයීමට ලක්කරමින් ප්‍රධාන පූජකතුමන් සහ ප්‍රදේශවාසීන්ගේ මූලික්තවයෙන් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 03) දින එම කෝවිල් පරිශ්‍රයේ විශේෂ ‘කුම්බාභිෂේකම්’ ආශිර්වාද පූජාවක් පැවැත්වීය. එම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 682 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ. රොහාන් ආර්එස්පී යූඑස්පී, 68 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් ජේ.එම්.ඩබ්ලිව්.කේ. ජයලත් සහ 3 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.ආර්. රණවීර සහභාගී වූහ.

කෝවිල් පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පැවති විවෘත කිරීමේ උත්සවය සහ ඉන් අනතුරුව පැවති ‘පූජාව’ සඳහා සිවිල් වැසියන් සහ බැතිමතුන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී, 682 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි දායක්තවයෙන් බැතිමතුන් වෙත කෙටි ආහාර බෙදාදීමක් ද සිදුකෙරිණි.