Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2023 18:01:42 Hours

විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදාවේ කීර්තිමත් මළල ක්‍රීඩිකාවකගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කීර්තිමත් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවක් වන බළලත් නිලධාරිනී I බී.එල්. නදීකා ලක්මාලි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වසර 23 ක යුද්ධ හමුදා සේවා කාලය තුළ මළල ක්‍රීඩා ඉසව් තුලින් ඇය ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව ඇගයීමට ලක් කරමින් ඇයගේ අනාගත සැලසුම් පිළිබඳ විමසා ඒ වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් බළලත් නිලධාරි I බී.එල්. නදීකා ලක්මාලි වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී විය.

වර්ෂ 2000 ජූලි මස 25 දින යුද්ධ හමුදාවට එක් වූ බළලත් නිලධාරි I බී.එල්. නදීකා ලක්මාලි ගේ යුද්ධ හමුදා සේවා කාලය තුළ 2008 චීනයේ බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී 22 වන ස්ථානය, 2013 වර්ෂයේ රුසියාවේ මොස්කව් ‘IAAF’ ලෝක ශූරතා ක්‍රීඩා උළෙලේදී 12 වන ස්ථානය, 2014 සහ 2010 වර්ෂයන්හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී 6 වන සහ 7 වන ස්ථාන, 2014, 2006 සහ 2010 වර්ෂයන්හිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී 5 වන, 7 වන සහ 8 වන ස්ථාන, 2019, 2015 සහ 2007 වර්ෂයන්හිදී පැවති ‘CISM - ලෝක හමුදා’ ක්‍රීඩා උළෙලේදී 3 වන, 3 වන සහ 4 වන ස්ථාන, 2011, 2013, 2003, 2005 සහ 2002 වර්ෂයන්හිදී පැවති ආසියානු ශූරතා ක්‍රීඩා උළෙලේදී 2 වන, 4 වන, 5 වන, 7 වන සහ 9 වන ස්ථානයන් හිමිකර ගැනීමට සමත් වූහ.

2005 වසරේ සිට 2019 වසර දක්වා අඛණ්ඩව ඇය ජාතික ශූරිය බවට පත්වූ අතර, 2003, 2006, 2007, 2008, 2010, 2013, 2014, 2015, 2018 සහ 2023 වර්ෂයන්හිදී පැවති ජාතික ක්‍රීඩා උළෙලේ ශූරිය සහ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් 2007 වසරේ සිට 2012 වසර දක්වා ආරක්‍ෂක සේවා ශූරතාවලියේ ශූරිය බවට ද පත්විය.