Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th August 2023 10:20:49 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයෙන් අනතුරුව, බ්‍රහස්පතින්දා (25) දින පස්වරුවේ, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් එම පුහුණු පාසලේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ අවි පුහුණුවීම් පරීක්‍ෂාවට ලක් කරන ලදී.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ ලියනවඩුගේ ආර්එස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පසුව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ ලියනවඩුගේ ආර්එස්පී විසින් පුහුණු පාසලේ සිදුකරනු ලබන පුහුණුවීම් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළේය.

මින්නේරිය පාබල පුහුණූ මධ්‍යස්ථානයේ සේනාවිධායකගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පුහුණු පාසලේ සිසුන්ගේ භාවිතය සඳහා නවතමයෙන් ස්ථාපිත කරනු ලැබු RPG - 7 සුළු අවි විඩම්භකය (Simulate) විවෘත කරනු ලැබීය. එහිදි එතුමන් RPG-7 සුළු අවි විඩම්භක සහ මෝටර් සුළු අව් විඩම්භක වෙඩි තැබීමේ අවස්ථාවන්ද නැරඹුවේය. පසුව යුද්ධ හමුදාධිපතිතුමන් එම පුහුණු පාසලේ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති බලඇණි සහ ඛණ්ඩ ආධාරක අවි නිරීක්‍ෂණය කරන ලදී. අනතුරුව එතුමන් එම සංචාරය සිහිවනුවස් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් ද රෝපණය කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණූ මධ්‍යස්ථානයේ සේනාවිධායක සමග එක්ව පුහුණු පාසලේ, පුහුණුවීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා සංචාරයක නිරත වූ අතර එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් පාඨමාලාවේ නිරත භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

යුද්ධ හමුදාධිපතිතුමන් මින්නේරිය යුද්ධ හමුදා පුහුණු පාසලෙන් නික්මයෑමට පෙර එම පුහුණු පාසලේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදාව මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.