Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th August 2023 09:36:00 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරතවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් සිකුරාදා (අගෝස්තු 25) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර එහිදි ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බලන ලදී.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රථම නිල සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව එම පුහුණූ පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.බී.ජේ.එන් ආරියතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් එම්.ටී.අයි ගුණවර්ධන ආර්එස්පී පීඑස්සී විසින් ‘Wisdom Hall’ පරිශ්‍රයේදී පිළිගැනීමේ දේශනය සිදුකරමින් පුහුණු පාසලේ සිදුකරනු ලබන පුහුණුවීම් කටයුතු පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්, එම පුහුණු පාසලේ පිහිටි වැලි ආකෘති ශාලාවේදී ප්‍රතිත්‍රස්ත කැලෑබද පුහුණු සටන් පාඨමාලා අංක - 33 හඳාරනු ලබන සිසුන්ගේ ‘වැලි ආකෘති’ නිදර්ශණ සහ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - 68 බී යටතේ සිදුකළ ‘ඉගැන්වීමේ පුහුණුව’ අවස්ථාවන් නැරඹීය.

යුද්ධ හමුදාධිපතිතුමන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණූ පාසලේ දැනට පවතින යටිතල පහසුකම් සහ ඉදිවෙමින් පවතින නව ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කළේය. එහිදි, යුද්ධ හමුදාධිපතිමන් සහ එම ව්‍යපෘතියේ ඉදිකිරීම් භාර නිලධාරි අණදෙන අතර ඉදිරිකිරීම් කටයුතු සම්බන්ධයෙන් අදහස් හුුවමාරු කරගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් මාදුරුඔය පුහුණු පාසලේ නිදර්ශණ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබු නගරබද සටන් පුහුණු නිදර්ශණය නැරඹීමෙන් අනතුරුව, එම කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. උත්සව අවස්ථාව අවසන් කරමින් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.

එහිදි සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් සහ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණූ පාසල යුද්ධ හමුදාවේ ප්‍රධාන පුහුණු ආයතනයක් වන අතර එහි ප්‍රධාන වශයෙන් ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සහ කැලෑබද යුද පුහුණු පාඨමාලා පැවැත්වේ. එමගින් නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ යුධ උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ පුහුණු ක්‍රියා පටිපාටි පිළිබඳ කුසලතා සහ දැනුම වැඩි දියුණු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදාව මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද එම අවස්ථාවට සහභාගී වූහ.