Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2023 20:08:13 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් සිකුරාදා (අගෝස්තු මස 18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී කැපවීමෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ අමිල සේවය පිළිබඳ හා එතුමන්ගේ යුද බිමේ අත්දැකීම් පිළිබඳව අදහස් මතකාවර්ජනය කරනු ලැබූ අතර, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුබපැතුම් එක්කළේය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී සමඟින් සුහදව අදහස් හුවමාරුකරගත් යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා සමඟින්ද සුහදව අදහස් හුවමාරුකරගනිමින් වෘත්තීය දිවිය තුළ විවිධ අභියෝගාත්මක කාර්යභාරයන් ඉටුකරන සමයේදී සිය පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්කළේය.

මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය කෘතඥතාව පුදකළේය. සුහඳ හමුව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ප්‍රදානය කරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජුලි මස 14 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව හදාරා වර්ෂ 1991 ජනවාරි මස 19 දින දෙවන ලුතිතන් නිලයේ අධිකාරියට පත්ව ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කරනු ලැබීය‍. එතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2022 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. රණබිමේ දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් එතුමන් රණ වික්‍රම පදක්කමෙන් පිදුම් ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන විට 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි කරනු ලැබීය. එතුමන් 4 ගැමුණු හේවා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, ප්‍රවාහන අංශ භාර නිලධාරී, නිලධාරී අණදෙන, 524 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී III, පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී 2 (මූල්‍ය), 551 බලසේනාවේ බලසේනා මේජර්, සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරී අණදෙන, 9 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක, 68 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 232 පාබල බලසේනාවේ වැඩ බලන බලසේනාධිපති, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, රත්නපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී සහ සටන් පුහුණු පාසලේ සේනාවිධායක යන තනතුරු හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම හමුදා දිවිය තුළ ඒකක පරිපාලන පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන්ගේ පාඨමාලාව, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳ මූලික උපදේශක පාඨමාලාව, පාබල හමුදා තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පකිස්ථානය, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් උපදේශක පාඨමාලාව - මොංගෝලියාව සහ බලඇණි අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.