Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2023 20:13:47 Hours

ජාතික හෑන්ඩ්බෝල් ශූරතාවය - 2023, යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ජාතික හෑන්ඩ්බෝල් ශූරතාවලිය - 2023, පුත්තලම මහජන ක්‍රීඩාංගණයේදී අගෝස්තු මස 11 දින සිට 14 දින දක්වා පැවති අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

දීප ව්‍යාප්තව කාණ්ඩ හතරක් යටතේ හෑන්ඩ්බෝල් පිරිමි කණ්ඩායම් 21 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා තරඟ කළහ. එහිදී අවසන් තරඟය සඳහා තරඟ වැදුණු යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම ලකුණු 36 - 31ක් ලෙස ලබා ගනිමින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සමත් විය.

තරඟාවලියේදී යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කාන්තා කණ්ඩායම පරදවා ගුවන් හමුදා හෑන්ඩ්බෝල් කාන්තා කණ්ඩායම ලකුණු 21 -25 ක් ලෙස ලබා ගනිමින් කාන්තා අංශයේ ශූරතාවයත්, යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කාන්තා කණ්ඩායම අනුශූරතාවයත් හිමිකර ගත්හ.

අවසන් මහා තරඟය සහ සමාප්ති උත්සවය පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින පැවති අතර, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් සහභාගී වූ අතර, ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ද සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් ඩී.ජී.ආර් විමලරත්න, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඩී.ඒ.ආර් කරුණාරත්න සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කේ.ඩී පත්මකුමාර යන ක්‍රීඩකයින් විසින් තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා, අවසන් තරඟයේ දක්‍ෂතම ගෝල රකින්නා සහ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස කුසලාන හිමිකර ගන්නා ලදී.