Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2023 19:15:00 Hours

ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියට, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරුවන්හට’ ‘විනයගරුක’ පුහුණුවක් ලබා දීම සදහා යුද්ධ හමුදාවේ සහය

ශ්‍රී ලංකා ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරිය වෙතින් බර වාහන, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ක්‍රියාකිරීම පිළිබඳ පුහුණුව ලබාගැනීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් ජාතික නිපුණතා මට්ටම (NVQ) 4, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරු’ පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.

පාඨමාලාවට යුද්ධ හමුදා සාමාජිකයන් යොමුකිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියෙහි සභාපති ඩබ්ලිව්. රුචිර අමරසේකර මහතා ප්‍රමුඛ එම අධිකාරියෙහි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියේ මූලිකත්වයෙන් ජාතික නිපුණතා මට්ටම (NVQ) 4 සහතිකය සහිත ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරු පාඨමාලාව’ සිසුන් 40 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, පාඨමාලාවේ අවසන් අදියර යුද්ධ හමුදා උපදේශකවරුන්ගේ සහයෝගය ඇතිව අනුරාධපුර, තිසාවැව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේදී දින 47 ක් පුරාවට පැවැත්වීම සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

යුද්ධ හමුදාවේ සහයෝගය මත බර වාහන, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ක්‍රියාකිරීම පිළිබඳ නිපුණතා මට්ටමේ පුහුණුවක් සහිත විනයගරුක රියදුරන් බිහිකළ හැකි බවත් මෙවැනි පුහුණු පාඨමාලාවන් තුලින් රටට අවැසි විදේශ විනිමය උපයාගත හැකිවන විදේශ වෙළඳපළ රැකියා අවස්ථා රැසක් උදාවන බවත් මෙම සාකච්ඡාවේදි ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියේ නිලධාරින් පෙන්වා දෙනු ලැබීය.

ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරිය වෙතින් විදේශ රැකියා වෙළඳපොළ සඳහා ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා උදාකර දීම සඳහා මෙම පාඨමාලාව යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් එම පුහුණු අධිකාරිය වෙත සිය ස්තූතිය පුදකළ අතර එම අධිකාරිය වෙතින් සැලසුම් කර ඇති පරිදි පාඨමාලාවේ අවසන් අදියර අනුරාධපුර, තිසාවැව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේදී පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් කටයුතු කරන බව පැවසීය. සාකච්ඡාව සමාප්තියේ, යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් මෙවැනි පාඨමාලා අවස්ථා උදාකරදීම සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියේ නියෝජිතයින් වෙත සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඊ.එම්.ජී.ඒ අඹන්පොල ද සහභාගී වූහ. ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියේ නියෝජ්‍ය සභාපති එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා, ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.එස්. විජේසිංහ මහතා සහ සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ඒ.කේ.එස්. කුමාර මහතා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.