Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2023 20:36:10 Hours

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් මව්බිම වෙනුවෙන් දිවිපුදා වසර 31 ක් සැපිරේ

යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 31 වන ගුණානුස්මරණ සංවත්සර දිනය අගෝස්තු මස 08 දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් අනුරාධපුරයේ පිහිටි එතුමන්ගේ පිළිරුව අභියසදී ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. එමෙන්ම, දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරෝදාර රණවිරුවාණන්ගේ භාර්යාව වන ලලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන්, යුද්ධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම උත්සව අවස්ථාවට එක්වූහ.

මෙම ගුණානුස්මරණ උත්සවයේදී ආගමික වතාවත් සිදුකිරීම, මිනිත්තු දෙකක නිශ්ශබ්දතාව පැවැත්වීම, අනුස්මරණ කථනය, ස්මාරකයට පුෂ්පෝපහාර පුදකිරීම, බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය වාදනය කිරීම ඇතළු අනෙකුත් හමුදා සම්ප්‍රදායන්ගෙන් සමන්විත විය.

මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සටන්වැදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක් අත්කර දුන් විශිෂ්ඨ නිලධාරියෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටෙෆන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ කෝප්‍රල් ඩබ්ලිව්.ජී. වික්‍රමසිංහ සමඟින් යාපනය කයිට්ස් හී පිහිටි ආරාලි තුඩුවේ ක්‍රියාන්විතයක නිරතව සිටියදී වර්ෂ 1992 අගෝස්තු මස 08 දින මෙම ඛේදවාචකයට මුහුණ දෙන ලදී.

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය අභියසදී පැවති මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් එතුමන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා තූර්ය වාදන කණ්ඩායමේ වාදනයන් මධ්‍යයේ හමුදා ගෞරවාචාරය පුදකරනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරෝදාර රණවිරුවාණන්ගේ භාර්යාව වන ලලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන්, විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිවංගත රණවිරුවාණන්ගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන්, දිවංගත අනෙකුත් නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයින්, සිවිල් වැසියන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.