04th August 2023 10:20:21 Hours
අම්පාර, මඩකලපුව, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් අධීක්ෂණය කිරීම, සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යුධ හමුදාවේ ප්‍රාදේශීය අණදෙන ආයතනවලින් එකක් වේ. ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ඉහත කාර්යභාරයන් වලට අමතරව, දැනට පවතින සිවිල්-හමුදා සබඳතා තවදුරටත් ඉහළ නංවන ප්‍රජා මූලික ව්‍යාපෘති රාශියක ඵලදායි ලෙස නිරත වී සිටියි.
හදිසි තත්ත්වයන්හිදි ඊට අවශ්‍ය සහය ලබාදී, මානුෂීය සහන ව්‍යාපෘති දියත්කිරීම, යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් සහ ජංගම සෞඛ්‍ය කඳවුරු ආදිය ප්‍රධාන ව්‍යාපෘති අතර වේ. තවද, නැගෙනහිර ප්‍රදේශයේ නිවාස නොමැති පුද්ගලයින් සඳහා නව නිවාස ඉදිකිරීම, එම ප්‍රදේශයේ රාජකාරියේ නියුතු භටපිරිස්හි දායකත්වයෙන් සිදුකරනු ලබන අතර, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් වර්ෂ 2009 සිට මේ දක්වා යුද්ධයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා නව නිවාස 317ක් ඉදිකර දී එම සිවිල් වැසියන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් එක්කිරීමට කටයුතු කරන ලදී.
යුද්ධ හමුදාපතිවරුන්ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් නැගෙනහිර කලාපයේ නිවාස නොමැති සිවිල් වැසියන් සඳහා නව නිවාස ඉදිකර දීමට කටයුතු කරනු ලබයි. නැඟෙනහිර ප්‍රදේශයේ මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ද යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන අතර, ඉන් බහුතරයක් දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශිලින් වීම විශේෂත්වයකි.
දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්, ආගමික පූජකයින් සහ සිංහ සමාජවල දායකත්වය යුද්ධ හමුදා සම්බන්ධීකරණය තුළින් ලබාදෙනු ලබන අතර, මෙම මානුෂීය උත්සාහය තුළින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන්ගේ පවුල්වලට නව ජීවයක් එක්කිරීමට හැකි විය.
මේ දක්වා නැගෙනහිර භටපිරිස් ඔවුන්ගේ තාක්ෂණික සහ ශ්‍රමදායකත්වය යොදාගෙන නව නිවාස 317 ක් ඉදිකර විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත පවරා දී ඇත. ආරක්ෂක සේනා අඥාපති - නැගෙනහිර උපදෙස් මත ඒ යටතේ පාලනය වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ භටපිරිස් විසින් තවද එවන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 3ක් වෙනුවෙන් නව නිවාස 3ක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතී.
එම නව නිවාස ඉදිකර අවසන් වීමෙන් පසු ගෘහ භාණ්ඩ, විදුලිය, ජලය, ඉලෙක්ට්‍රෝනික උපකරණ යන නිවසට අත්‍යාවශ්‍ය යටිතලපහසුකම් සැපයීමට සහ හරිත පරිසරයක් බිහිකිරීම සඳහා වටිනා පැළ රෝපණය කිරීමටද භටපිරිස් සහාය දක්වයි. තවද යුද්ධ හමුදා භටපිරිස් භූමි සකස් කිරීම, ජල මාර්ග ඉදිකිරීම, බිත්තර බීජ, ජලය සැපයීම සහ පුරන්ව තිබු කුඹුරු සහ හේන් නැවත ගොවිතැන් කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ද ලබා දෙනු ලබයි.
නැඟෙනහිර ප්‍රදේශයේ දිළිඳුකමින් පීඩිත වූ ජනතාවට යහපත් හෙට දවසක් උදාකර දීමට දැඩි අධිෂ්ඨානයෙන් සිටින යුද්ධ හමුදාව, රට තුළ සමගිය, සංහිඳියාව සහ සාමකාමී පරිසරයක් බිහිකිරිමේ අරමුණින් යුතුව සිවිල් වැසියන් වෙනුවෙන් ඉහත ව්‍යාපෘතීන් දියත්කරමින් ඔවුන් සමග නිරන්තරයෙන් අත්වැල බැදගෙන සිටියි.