28th July 2023 19:29:42 Hours
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහනේ 2 වන අදියර යටතේ ‘බෝ නොවන රෝග’ මැයෙන් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් දේශනයක් පසුගිය බදාදා (ජුලි මස 26) දින බටලන්ද ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවති අතර, එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 72 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 24 දෙනෙක්, විදේශීය නිලධාරීන් 25 දෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 148 දෙනෙකු සහභාගී වූහ.
මෙම වැඩසටහනේ මුලසුන හෙබවූ කායික රෝග පිළිබඳ උපදේශක වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන ‘නිරෝගී දිගු දිවියකට රහස්’ යන මැයෙන් දේශනයක් පැවැත්වූ අතර බ්‍රවේ කර්නල් බී.එල්. රණසිංහ කේඑස්පී විසින් ‘ව්‍යායාමවල වැදගත්කම‘ සහ කපිතන් ඒ.සී.කේ. උඩුගම විසින් ‘ඔබේ සතුට සහ නිරෝගි බව සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්‘ තේමාවන් ඔස්සේ දේශන පැවැත්වූහ.
මීට අමතරව, නිල ඇඳුම පැළඳ රාජකාරි කටයුතුවල නිරතවන අවස්ථාවන්හිදී සිදුකළ හැකි සුළු ශාරීරික ව්‍යායාම පිළිබඳ වැඩසටහනක්ද මෙහිදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.