Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th July 2023 22:22:53 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ඇතුළු සිය පවුලේ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ අමිල සේවය පිළිබඳ මතකාවර්ජනය කරනු ලැබීය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී මෙම අවස්ථාවට ආරාධනා කිරීම සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පළකළ අතර, සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් එක්කළේය. එමෙන්ම, මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව වෘත්තීය දිවිය තුළ විවිධ අභියෝගාත්මක කාර්යභාරයන් ඉටුකරන සමයේදී සිය පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය. රණබිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් වෙත රණශූර පදක්කම ද පිරිනමා ඇත.

සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1989 ජනවාරි මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික යුධ පුහුණුව සාර්ථකව හදාරා වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින දෙවන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්ත කරනු ලැබීය‍. එතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2022 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන අවස්ථාව වනවිට එතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි ධූරය හොබවමින් සිටියේය. මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 22 පාබල සේනාංකයේ ඉංජිනේරු ඛණ්ඩභාර නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, 7 සහ 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවල නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ මානව හිමිකම් සහ මානුෂීය නීති අංශයේ මාණ්ඩලික නිලධාරි II (පුහුණු), හයිටි එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ ශ්‍රී ලංකා බලඇණියේ කාරක ඉංජිනේරු නිලධාරි අණදෙන, 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ කාර්යයේ නියුතු අණදෙන නිලධාරි, කොළඹ මෙහෙයුම් විධානයේ කාර්යේ නියුතු ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිවුයෝර්ක් එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ලේකම් කාර්යාලයේ සාමසාධක සම්බන්ධීකරණ නිලධාරි, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ ලේකම්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදාධිපති හමුදා සහකාර, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ උප සභාපති, යුද්ධ හමුදා ස්නූකර් සහ බිලියඩ් කමිටුවේ සභාපති, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරි උපක්‍රමික පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, Officers Mid-Career ඒකක පරිපාලන පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කළමනාකරණ පාඨමාලාව, සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උසස් පාඨමාලාව, සන්නද්ධ හමුදාවන් සඳහා වන සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ උපදේශකයන්ගේ උසස් පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, Earth Moving Plant, Workshop, වැඩමුළු සහ ඉදිකිරීම් යාන්ත්‍රික පාඨමාලාව- ඉන්දියාව, Bharat Earth Movers Limited හි සේවා පුහුණු පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදක අණසක නිලධාරී පාඨමාලාව - නෝර්වේ, ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ අධ්‍යක්‍ෂවරුන්ගේ පාඨමාලාව - ඉතාලිය සහ එක්සත් ජනපදයේ යුද්ධ හමුදා යුද විද්‍යාල පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය වැනි දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හොබවා ඇත‍.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යන ශාෂ්ත්‍රපති උපාධි පාඨමාලාව, ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාව, එක්සත් ජනපද යුද්ධ හමුදා යුද විද්‍යාලීය ඩිප්ලෝමාව - එක්සත් ජනපද යුද්ධ හමුදා යුද විද්‍යාලය, කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ ජාත්‍යන්තර මානුෂීය නීති සහ මානව හිමිකම් පුහුණු පාඨමාලාව, ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උපදේශකවරුන් සඳහා වූ පුහුණු අධ්‍යාපනික පාඨමාලාව ද එතුමන් හදාරා ඇත.