Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2023 18:13:43 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් උතුරු ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා එම ඒකකයේ දායකත්වය ලබාදෙමින් උදයාර්කට්ටු ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සිකුරාදා (ජූලි මස 21) දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පි විඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය. සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සම්බන්ධීකරණය මත ආනන්දපුරම් ප්‍රදේශයේ වෙසෙන එස්. පුනිදවලන් මහතා සහ වලයිමඩම් ප්‍රදේශයේ වෙසෙන එම්.බී. ඇන්ටන් මහතා එක්ව රුපියල් මිලියන 2 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබූහ.

උදයාර්කට්ටු, සුතතිපුරම් ජනපදයේ ජීවත්වන විවාහක එක් දියණියක් සිටින කම්කරුවෙකු වන විජයකුමාර් දනුෂාන් මහතා ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් හිසට සෙවනක් නොමැතිව දිවිගෙවමින් සිටිනු ලැබීය. ටකරන් වලින් ආවරණය කර තිබූ කුඩා නිවෙසක දිවිගෙවූ ඔහු පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

එම පවුලේ ජීවන තත්ත්වය පිළිබඳ 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ අවධානයට යොමුවීමෙන් අනතුරුව, නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන් පරිත්‍යාගශීලියෙකු සෙවීම ද කඩිනමින් සිදුකරනු ලැබීය. පරිත්‍යාගශීලීන් අවශ්‍ය සම්පත් සහ අමුද්‍රව්‍ය ලබාදී මාස දෙකක කාලසීමාවක් ඇතුළත ව්‍යාපෘතිය නිමකිරීමට යුද්ධ හමුදා සාමාජිකයන් සමත්විය.

ඒ වෙනුවෙන් අවශ්‍ය ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ලබාදුන්හ. සමරු ඵලකය නිරාවරණය කර නිවස විවෘත කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ නව නිවසේ යතුර නිවාසලාභියා වෙත භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාවට උදයාර්කට්ටු සහකාර ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය නිලධාරීන්, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 681 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, නිවාසලාභී පවුලේ ඥාතීන් සහ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගි වූහ.