Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2023 21:44:14 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් 1 ශ්‍රී ලංකා රයිෆල් බලකා මූලස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බ්‍රහස්පතින්දා (20) දින මාතලේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව එදින සන්ධ්‍යාවේ පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා රයිෆල් බලකා කඳවුරේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.ආර්. ජයසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ නිලධාරී නිවස්නය වෙත කැටුව යනු ලැබීය. අනතුරුව, 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් එම ඒකකයේ භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරතවීමෙන් අනතුරුව ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීය.

යුද්ධ හමුදාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා 810 සංයුක්ත බලඝණය වෙතින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමකිරීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ ‘රයිෆල්’ අශ්වයා දැකබලාගැනීමෙන් අනතුරුව මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.