14th July 2023 17:00:00 Hours
2023 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ (AAC) – 2023, මීටර් 400 ධාවන ඉසව්වෙන් (කාන්තා අංශය) පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි මස 13) දින තරඟ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කෝප්‍රල් නදීෂා රාමනායක වසර 23 කට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකදී රන් පදක්කමක් දිනූ 8 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස කෝප්‍රල් නදීෂා රාමනායක ඉතිහාසයට එක්වන අතර, ජූලි 12 වන දින සිට 16 වන දින දක්වා බැංකොක් නුවර සුපචලාසායි ජාතික ක්‍රීඩාංගණයේදී මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙයි.
තත්පර 52.61කින් කාන්තා ඉසව්වේ තරඟය නිමා කරන ලද කෝප්‍රල් නදීෂා රාමනායක අවසන් මහා තරගයට පෙර පැවති අවසන් පූර්ව වටයේදී තත්පර 53.06 කින් තරඟය නිම කිරීමට සමත් විය.
මෙරට නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු මෙම තරඟාවලියට සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එච්.එල්.එන්.ඩී.ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ (කාන්තා අංශය) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර් 60.93) පිහිටුවමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.