11th July 2023 22:19:00 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනාවේ භටපිරිස් කෑගල්ල මහජන බැංකුවේ ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාලය වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත දරුවන් තිදෙනෙකුගෙන් යුත් වැන්දඹු කතතගේ දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත්වීමෙන් අනතුරුව එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රඹුක්කන ප්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබීය. හිසට සෙවණක් නොමැතිව දරුවන් තිදෙනෙකු සමඟ දිවිගෙවූ කේ.ඒ. නිල්මිණි දිල්රුක්‍ෂි මහත්මිය වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා 611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
මෙම මානුෂීය අවශ්‍යතාවය පිළිබඳව 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් දැනුවත්වීමෙන් අනතුරුව ව්‍යාපෘතිය සඳහා කෑගල්ල මහජන බැංකුව වෙතින් අමුද්‍රව්‍ය ලබාගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබීය. රඹුක්කන, ඊරියගොඩ ග්‍රාම නිලධාරී බලප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි මස 06) දින පැවති අතර එම අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.
මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස කෑගල්ල මහජන බැංකුවේ ප්‍රාදේශීය කලමණාකාරතුමන් සහභාගී වූ අතර තවත් බැංකු නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම උත්සවය අතරතුරදී ප්‍රතිලාභීන් වෙත ගෘහ භාණ්ඩ, ත්‍යාග සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් ද පරිත්‍යාග කෙරිණි. මහජන බැංකුවේ 62 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් මෙම මානුෂීය ව්‍යාපෘතිය වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ. උත්සවය අතරතුරදී, ආගමික වතාවත් සහ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත භාරදීමෙන් අනතුරුව කිරි ඉතිරවීම සිදුකරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත දිවයින පුරා නිවාස අවශ්‍යතා සහිත ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත නව නිවෙස් ඉදිකරදීමේ ව්‍යාපෘතීන් අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි. මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ අණදෙන නිලධාරින් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ඇගයීම් සහතික ප්‍රදානය කළහ.