04th July 2023 13:01:03 Hours
පසුගිය සෙනසුරාදා (ජුලි මස 01) දින හන්තාන කඳු මුදුනේ සංචාරයක යෙදුනු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (SLTC) සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක් වූ අතර, එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ආරක්ෂක සේනා මූලස්ථාන - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ 111 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එම සිසුන් පිරිස බඹර ප්‍රහාරයෙන් මුදාගෙන මහනුවර රෝහල වෙත රැගෙන යාමට සහාය ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ 276 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම බඹර ප්‍රහාරයකට ලක්ව ඇති අතර, සංකූලතා ඇති වූ එම සිසුන් යුද්ධ හමුදාවේ සහාය ඇතිව වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කරනු ලදී.
බඹර ප්‍රහාරයට ලක් වූ එක් සිසුවෙකු එම අවස්ථාවේදී 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වෙත දුරකථන ඇමතුමක් ලබාදී සහාය ඉල්ලා ඇති අතර, අනතුරුව එම ඒකකයේ නිලධාරීන් ඇතුළු භටපිරිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් 1990 ‘සුවසැරිය’ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කෙටි කාලයක් තුළ එම සිසුන් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරනලදී.
11 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන් සහ 111 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද මෙම ස්ථානයට පැමිණ 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ එම ඒකකයේ භටපිරිස් වෙත මෙහෙයුම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.