Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2023 15:28:18 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් ‘සිතියම් කියවීම’ පිළිබඳ පුහුණු සැසියක් පවත්වයි

කොළඹ මහානාම විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමක් මත 142 පාබල බලසේනාවේ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම පාසලේ ශිෂ්‍ය භටයින් සඳහා 'සිතියම් කියවීම’ පිළිබඳ පුහුණු සැසියක් පසුගිය බ්‍රහස්පතින්දා (15) දින පවත්වන ලදී.

පුහුණු සැසියෙහි අරමුණ වූයේ ශිෂ්‍ය භටයින් සඳහා සිතියම් කියවීම පිළිබඳ මූලික දැනුම සහ එය ප්‍රායෝගිකව භාවිතා කිරීම පිළිබඳව දැනුම ලබාදීමයි. එහිදී සිතියම් හඳුන්වාදීම, සිල්වා කොම්පාසුව භාවිතය, සිතියම් කියවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසි දෙකක් පවත්වනු ලැබීය.

සිතියම් කියවීමේ විෂය සම්බන්ධ දැනුම සහ පලපුරුද්ද ඇති 14 විජයභාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසු නිලයන් හතර දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු සැසිය පැවැත්වූ අතර, එහිදී හමුදා සාමාජිකයින්ගේ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් භාවිතා කරමින් සිතියම් කියවීමේදී භාවිතා කරන සිල්වා කොම්පාසුව සහ අනෙකුත් අත්‍යවශ්‍ය මෙවලම් භාවිතය පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදෙන ලදී.

පුහුණු සැසිය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 14 විජයභාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.