Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2023 23:03:52 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ පවුලක් වෙත නව නිවසක්

65 පාබල සේනාංකයට අයත් 651 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 17(සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වයෙන් ඇතිව වෙල්ලන්කුලම්, තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරත ලද නව නිවස පසුගිය සෙනසුරාදා (10) දින එම ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී. තේවම්පිඩ්ඩි ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන එමිල් පොමික්කෝ ජෙබනේසන් රොචේ (Emil Pomikko Jebanesan Roche) මහතා තම බිරිඳ සහ කුඩා දරුවා සමඟින් නිවසක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන බව ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හි නිරීක්‍ෂණයට ලක්විය.

ඔවුන්ගේ එම ජීවන තත්ත්වය පිළිබඳව 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී සහ 651 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස් විජේසිරිවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී දැනුවත් කිරීමෙන් පසුව ඔවුන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ දානපතියන් කිහිප දෙනෙකු සමඟ සාකඡ්චා කර නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. 651 පාබල බලසේනාව යටතේ ස්තාපිත 17(සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් නව නිවස ඉදිකරන ලදී. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී, නව නිවසේ සමරු ඵලකය නිරාවරණය කර සම්ප්‍රදානුකූල චාරිත්‍ර මධ්‍යයේ නිවාස ලාභී පවුල වෙත පසුගිය සෙනසුරාදා (10) දින ප්‍රදානය කළේය.