Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2023 14:07:01 Hours

පාසල් සිසුසිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සවිබලගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන දායකත්වය යලිත් තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දස්කම් දක්වන කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ සිවිල් සේවක මහතෙකුගේ පාසල් සිසු සිසුවියන් දෙදෙනෙකු වෙත ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාග කරනු ලැබීය.

කොමිෂන් නොලත් නිලධාරියෙකු තම දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දක්වනු ලබන දක්‍ෂතාවය සහ ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ජාතිය වෙනුවෙන් ඔවුන් දැක්වූ කැපකිරීම ඇගයීමට ලක්කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

වෛද්‍ය හේතූන් මත යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වූ ලාන්ස් කෝප්‍රල්වරයෙකුගේ දියණියක් වෙත සහ සිවිල් සේවක මහතෙකුගේ පුත්‍රයෙකු වෙත මෙම ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර පරිත්‍යාගය සිදුකෙරිණි.

අධ්‍යාපන කටයුතු සඳහා නිතැතින්ම දස්කම් දැක්වූ එම දැරිය අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ විශ්වවිද්‍යාල වරම් හිමිකරගනු ලැබිණි. ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ යුද්ධ හමුදා රණවිරුවෙකු වූ ඇගේ පියා වන ලාන්ස් කෝප්‍රල් කේ.සී.ඩී. කිරිගම 2009 වසරට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී මාතෘභූමිය වෙනුවෙන් පරාර්ථකාමී සේවයක නිරතව සිටියදී රණක්‍ෂිතයට පත් වූ අතර එම වීරෝදාර රණවිරුවා සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් උසස් අධ්‍යාපන වරම් ලද එම දැරිය වෙත මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

යුද සේවා ලේකම් කාර්යාලයේ සිවිල් සේවක මහතෙකු ලෙස සේවයේ නිරතව සිටින කේ.ඒ.එන්. සරත් කුමාර මහතාගේ පුතනුවන් වෙනුවෙන් ද මෙම වැඩසටහන යටතේ ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක් පරිත්‍යාග කෙරිණි. 2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ එම සිසුවා ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කෙරිණි. ඔහුගේ විශිෂ්ඨ ජයග්‍රහණ සහ අධ්‍යපන කටයුතු සඳහා දැක්වූ සුවිශේෂී දක්‍ෂතාවය අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාම වෙනුවෙන් දිරිගැන්වීමක් මෙන්ම ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා ඇති මඟහරවා ගැනීමටත් මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍රය එම සිසුවා වෙත පරිත්‍යාග කරනු ලැබිණි.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත එම සිසුන් දෙපළ කැඳවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා දිරිදීමනා වශයෙන් මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙක පරිත්‍යාග කරනු ලැබීය.

තම දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ හදුනාගනිමින් ඒ වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් දක්වන කැපකිරීම ආදර්ශමත් බවත්, පරිපූර්ණ සමාජයක් බිහි කිරීමට එවැනි කැපකිරීම් සිදුකල යුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අදහස් දැක්වීය. තවද, එහිදී මෙවැනි දක්‍ෂ දරුවන් වෙනුවෙන් එවැනි පරිගණක පරිත්‍යාගයන් සිදුකිරීම ඔවුන්ගේ අධ්‍යපනය ඉහල නැංවීමට සඳහා පමණක් නොව ජාතියෙන් ඔවුන් වෙත ලද කෘතවේදීත්වය සහ සහයෝගය සිහිපත් කිරීමක් ලෙසද පෙන්වා දිය හැක.