10th March 2023 18:54:00 Hours
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 553 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් වඩමාරච්චි, අලියාවලෙයි ලංකා පල්ලිය දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරනු ලැබීය. වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයේ සිසු සිසුවියන් සහ අවශ්‍යතා සහිත ප්‍රදේශවාසීන් වෙනුවෙන් පැය 24 පුරාවටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ අපේක්‍ෂාවෙන් මෙම ජල පිරිපහදු යන්ත්‍රය පසුගිය බදාදා (මාර්තු මස 8) දින පැවති චාම් උත්සවයකදී විවෘත කරමින් අලියාවලෙයි ලංකා පල්ලිය දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් සහ ගම්වාසීන් වෙත භාරදෙනු ලැබීය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහභාගී වූ අතර මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් ජෝර්ජ් හෙට්ටිආරච්චි මහතා මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තෙකු වශයෙන් සහභාගී වූවේය. උත්සවය සමාප්තියේ මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න විසින් පාසල් ක්‍රීඩා උළෙල සඳහා භාවිතා කළ හැකි කුසලාන කිහිපයක් විදුහල්පතිවරයා වෙත ප්‍රදානය කළේය. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීමට කටයුතු කරනු ලැබීය.
55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහ 12 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ටී.එස්. නයනජීව විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා අවැසි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ. මෙම උත්සවය අතරතුර, භටපිරිස් විසින් උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ සියලුම පාසල් සිසු සිසුවියන් වෙත කෙටි ආහාර ලබාදුන්හ. මෙම අවස්ථාව සඳහා වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්, එම කොට්ඨාශයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, 553 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ග්‍රාම නිලධාරී, 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 12 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ.