13th March 2023 20:20:57 Hours
2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි මළල ක්‍රීඩා උළෙල -2023’ මාර්තු මස 04 සහ 05 දෙදින තුළ මහනුවර, දිගන ක්‍රීඩාපිටියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මළල ක්‍රීඩා උළලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සමඟින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය සහභාගී වූහ.
මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් නව ක්‍රීඩකයන් හඳුන්වාදීමේ අරමුණින් සංවිධානය කළ මෙම ‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි මළල ක්‍රීඩා උළෙල -2023’ සඳහා එම රෙජිමේන්තුවේ ක්‍රීඩකයන් 220 දෙනෙකු සහභාගී වෙමින් සිය මළල ක්‍රීඩා දක්‍ෂතාවයන් විදහා දැක්වූහ. පසුගිය සෙනසුරාදා (04) දින ආරම්භ කරනු ලැබූ මෙම මළල ක්‍රීඩා උළෙල ජවන හා පිටිය ඉසව්වලින් සමන්විත විය. අවසන් දිනයේ උණුසුම තීව්‍ර කරමින් ක්‍රීඩා උළලේ මීටර් 1500, මීටර් 100, මීටර් 400 සහ මීටර් 4 x 400 සහය දිවීමේ ඉසව්වල අවසන් මහා තරඟයන් පැවැත්විණ. ලකුණු 198 ක් ලබාගනිමින් මළල ක්‍රීඩා උළලේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයන් සමත් වූ අතර දෙවන ස්ථානය ලකුණු 90 ක් දිනාගත් 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය. ලකුණු 44 ක් දිනාගනිමින් මළල ක්‍රීඩා උළලේ තෙවන ස්ථානය හිමිකරගැනීමට 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයයෝ සමත්වූහ.
මළල ක්‍රීඩා උළලේ ජයග්‍රාහකයන් වෙත ජය සංකේත සහ ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ජයග්‍රාහකයින් වෙත සිය සුබපැතුම් පිරිනැමූහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් සමාප්තිය ප්‍රකාශයට පත්කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.