04th March 2023 21:40:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුව විසින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා එල්ලේ ක්‍රීඩා තරගාවලිය - 2023, මාර්තු 02-03 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම විසින් අඛණ්ඩව තෙවැනි වතාවටත් ආරක්ෂක සේවා එල්ලේ ශූරතාව දිනාගන්නා ලදී.
යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම සහ නාවික හමුදා එල්ලේ කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම තියුණු ජයක් හිමිකර ගත් අතර, එහිදී යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ඉනිම් දෙකේදීම ලකුණු 12 ක් සහ ලකුණු 02 ක් ද නාවික හමුදා එල්ලේ කණ්ඩායම ඉනිම් දෙකේදීම ලකුණු 07 ක් සහ 05 ක් රැස් කළහ.
අවසන් මහා තරඟය අතරතුර යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද ‘අංගම්පොර’ සටන් කලා සංදර්ශනය මගින් තරඟාවලිය නැරඹීම සඳහා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් මහත් විනෝදාස්වාදයට පත්කළහ.
අවසන් දින ක්‍රීඩා උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපල් පුස්සැල්ල විසින් ජයග්‍රාහී කණ්ඩායම් වෙත ත්‍යාග ප්රදානය කිරීමේ අවස්ථාවට ද සහභාගී විය.
අවසන් දින එල්ලේ තරඟාවලිය නැරඹීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ එල්ලේ ක්‍රීඩා ලෝලීන් ද පැමිණ සිටියහ.
එල්ලේ තරඟාවලියේ දස්කම් දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් පහත පරිදි වේ.
හොඳම පිතිකරු කෝප්රල් ඩබ්ලිව්.ඒ.ඩී අවිශ්ක - 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
දක්ෂතම පන්දු රකින්නා ලාන්ස් කෝප්රල් කේ.එස්.ආර් පෙරේරා - 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
හොඳම ක්‍රීඩකයා සාමාන්‍ය සෙබළ කේ.ඒ.එල් මධුශංක - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය