02nd March 2023 18:16:32 Hours
දෙමවුපිය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනේදී ඔවුන්ගේ සැඟවුණු කුසලතා, පුහුණු කළ කුසලතා සහ නායකත්ව ගුණාංගවල ප්‍රගතිය සිය දෙමාපියන් ඉදිරියේ විදහාදැක්වීය.
මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් බුද්ධික පෙරේරා සහභාගී විය. උත්සව අවස්ථාවට කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92, පාඨමාලා අංක SC 19A, පාඨමාලා අංක 61(V)A සහ කෙඩෙට් නිලධාරිනී පාඨමාලා අංක 18 (V) A, පාඨමාලා අංක 92A යන පාඨමාලාවන්හි ජ්‍යෙෂ්ඨ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් සහභාගී වූහ.
එහිදි සරඹ සංදර්ශනයක්, ලුතිනන් තිලක් නිශ්ශංක අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ටයිකොන්ඩෝ සංදර්ශනයක්, ශාරීරික අභ්‍යාස පුහුණු සංදර්ශනයක් සහ පෝලේ පිටියේ දී පැවැත්වූ සැඟව සිට පහරදීමේ නිදර්ශකයක් ඇතුළු විවිධ සංදර්ශන ඇතුළත් ක්‍රියාකාරකම් ඉදිරිපත් කරමින් දෙමාපිය දිනය වර්ණවත් කළහ.
දෙමාපියන්ට තම දූදරුවන් පිළිබඳ මහත් අභිිමානයක් සහ ආඩම්බරයක් ඇතිවන අයුරින් කෙඩෙට් නිලධාරීන් විසින් එකමුතුකම, විනය, නායකත්ව හැකියාව සහ නිවැරදි පුහුණුව මනා ලෙස පිළිඹිබු කරමින් සිය දක්ෂතා ඉදිරිපත් කළහ.
ටයිකොන්ඩෝ සංදර්ශනය, ශාරීරික අභ්‍යාස පුහුණු සංදර්ශනය, අශ්ව සංදර්ශනය සහ ගිනි වළල්ලෙන් පැනීමේ සංදර්ශනයන් නැරඹු දෙමාපියන්ට එය නවතම අද්දැකීමක් වූ අතර, එමගින් කෙඩෙට් නිලධාරීන්ට ඔවුන්ගේ ශාරීරික හා මානසික ශක්තිය පිළිඹිබු කිරීමට මහඟු අවස්ථාවක් උදාවිය. කෙඩෙට් නිලධාරීන්ගේ මනා ශාරීරික හා මානසික යෝග්‍යතාවය තුළින් ඔවුන්ගේ කැපවීමෙන් ලබාගත් මනා පුහුණුව පිළිඹිබු කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අශ්වාරෝහක අංශය විසින් පෝලෝ පිටියේදී පවත්වන ලද සංදර්ශනය දෙමාපියන්ගේ දිනයේ තුන්වන අදියරය විය. එහිදී අශ්වයින් නව දෙනෙකු සමඟින් තම කුසලතා ප්‍රදර්ශනය කරන ලද අතර, මෙම ඉසව්ව පැමිණ සිටි පිරිසට ත්‍රාසජනක සහ සිත් ඇදගන්නා සුළු අවස්ථාවක් වූහ.
කෙඩෙට් නිලධාරීන්ගේ උපායශීලීව ක්‍රියාන්විත සැලසුම් කිරීම, කණ්ඩායමක් වශයෙන් එක්ව මෙහෙයුම සිදුකිරීම කිරීම, නොපසුබට උත්සාහය සහ පෙර සූදානම පිළිබඳ කුසලතා ප්‍රදර්ශනය කරමින් කැරලිකරුවන් සැඟවී සිටින කඳවුරකට එල්ල කරන ලද අවසන් පහරදීමේ නිදර්ශනය මගින් නරඹන්නන්ට උද්යෝගයක් එක් කළේය.
සංදර්ශන වලින් අනතුරුව පැමිණ සිටි කෙඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් වෙත කෙඩෙට් නිලධාරී භෝජනාගාරයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සහ විනෝදාස්වාද වැඩසටහන් කිහිපයක්ද පැවැත්වීය. එහිදී දෙමාපියන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන තම දූ පුතුන් සමඟත් පුහුණුවීම් කටයුතු හා සම්බන්ධ සියලුම නිලධාරීන් සමඟත් අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා විය. එමඟින් දෙමාපියන්ට තම දූ පුතුන් ලබා ඇති පුහුණුව පිළිබඳව තොරතුරු විමසීමට ද අවස්ථාවක් උදා විය.
උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කෙඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.