15th March 2023 19:54:47 Hours
51 වන පාබල සේනාංකයට අයත් 513 වන පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් යාපනය ප්‍රදේශයේ ශ්‍රී මුරුගන් පදනමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසු සිසුවියන් 194 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (12) දින ක්‍රියාත්මක කරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී මුරුගන් පදනමේ සභාපති ආර් සුරේෂ් මහතා විසින් පාසල් සිසු සිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳව පරිත්‍යාගශීලී පදනම දැනුවත් කිරීමෙන් අනතුරුව එම පදනමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය යටතේ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර ගේ සම්බන්ධීකරණයෙන් සහ 513 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රිස්වි රාසික් ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන දියත් කරන ලදී. 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් චන්දන කාරියවසම් ඇතුළු එම ඒකකයේ භටපිරිස් විසින් 513 වන පාබල බලසේනා බල ප්‍රදේශයේ පිහිටි හින්දු විද්‍යාල පරිශ්‍රයේ පැවැති පරිත්‍යාග වැඩසටහනේදී ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙත එම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.