Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2023 20:14:08 Hours

61 පාබල සේනාංකයේ ‘රණවිරු අභිනන්දන පූජා’ වැඩසටහන තුළින් යුද්ධ හමුදා සහ සිවිල් පවුල්වල සිසුන්ට ප්‍රතිලාභ

ආරක්ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 15 වන සංවත්සරයට සහ 14 වන ජාතික රණවිරු දිනයට සමගාමීව 61 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සිසුන් සඳහා ‘රණවිරු අභිනන්දන පූජා 2023’ නමින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 61 පාබල සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සිසුන් 270 දෙනෙකුන් සඳහා එක් පාසල් ළමයෙකු සඳහා රු. 3750.00ක වටිනාකමකින් යුත් පාර්සලය බැගින් ඉකුත් අඟහරුවාදා (මැයි 23) දින බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයකදී ප්‍රදානය කරන ලදී.

‘අතහිත පදනම’ ප්‍රධාන සංවිධායක ප්‍රභාත් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ‘අතහිත පදනම’ දායකත්වය ඇතිව සිසුන් සඳහා මෙම දිරි දීමනා බෙදාදෙන ලදී.

61 පාබල සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයකට අනුව ‘අතහිත පදනම’ ප්‍රධාන සංවිධායක ප්‍රභාත් ලොකු බාලසූරිය මහතා සමඟ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් ඇතුළු පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ. තවද එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් කාර්ය මණ්ඩලය සහ ප්‍රතිලාභීන් රැසක් එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලදී.