Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2023 21:58:22 Hours

යාපනය භටපිරිස් විසින් සංවිධානය කරන ලද සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි

උදාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉකුත් සෙනසුරාදා (15) දින යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී ආරක්‍ෂ සේනා මූලස්ථානය - යාපනය සහ 51 සේනාංකයේ භටපිරිස් එක්ව සම්ප්‍රදායික චාරිත්‍රවාරිත්‍ර වලට මුල් තැන දෙමින් සංවිධානය කරනු ලැබු බක්මහ උළෙල සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී බී එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්ඩබ්ලිව් බී වෙළගෙදර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහාභාගී වූහ.

සංස්කෘතික, ආගමික, බහු වාර්ගික පසුබිමක සංහිඳියාව, සාරධර්ම, ආකල්ප, සිවිල්-හමුදා සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් අලුත් අවුරුදු උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ආරාධනයෙන් එම අවස්ථාවට සපැමිණි උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව උත්සවයේ කටයුුතු ආරම්භ විය.

සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව චාරිත්‍ර වාරිත්‍ර සහ ක්‍රීඩා තරඟ ආරම්භ විය. ඒ සඳහා සෙමින් බයිසිකල් පැදීම, ග්‍රීස් ගහේ නැගීම, කොට්ටා පොරය, කනා මුට්ටි ගැසීම, කඹ ඇදීම, අලියට ඇස තැබීම, සංගීත පුටු තරඟය, බැලූන් පිම්බීම, බනිස් කෑම, බාධක දිවීම, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යෑම, තාච්චී පැනීම, විකට ඇදුම් තරඟය වැනි තරඟ ඇතුළත් විය.

අලුත් අවුරුදු උත්සවය සිංහල හා දෙමළ සම්ප්‍රදායික නැටුම් අංගයන්ගෙන් වර්ණවත් වූ අතර යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම දමිළ සහ සිංහල ගීත වාදනය කරමින් රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත්කළේය. අලුත් අවුරුදු උත්සවය නැරඹීම සඳහා දමිළ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.

යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා සහ උතුරු පාළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීම සඳහා බලසේනාධිපතිවරුන්, 51 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන් සහ බලඇණිවල අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් මෙන්ම 51 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ද දායක වූහ.