28th April 2023 19:01:28 Hours
අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගියදා කඩාවැටුණු බත්තරමුල්ල, අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම විහාරස්ථානයේ අඩි 60 ක් දිගැති අඩි 20 ක් උස රැඳවුම් බැම්මක එක් පැතිකඩක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 144 පාබල බලසේනාවේ අධීක්ෂණය මත 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම ලබාදුන්හ.
එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් හා 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූහ. මාස 2 ක කාලසීමාවක් පුරාවට සිදුකෙරුණු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 2023 පෙබරවාරි මස 23 දින ආරම්භ කරනු ලැබූ අතර 2023 අප්‍රේල් මස 24 දින නිම කෙරිණි.
ව්‍යාපෘතිය සමාප්තියේ, 2023 අප්‍රේල් මස 26 දින ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මොරොන්තුඩුවේ රාහුල හිමිපාණන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී කෙටි අනුශාසනාවක් පවත්වමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම සඳහා දායකත්වය දැක්වූ සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහයෝගය කෘතවේදීව සිහිපත් කරමින් ඔවුන් වෙත ආශිර්වාද එක්කළේය.
මෙම අවස්ථාව සඳහා 144 පාබල බලසේනාවේ බලසේනාධිපති, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්, 144 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, නිලධාරින්, සෙසුනිලයන් සහ විහාරස්ථාන දායක සභාවේ සාමාජිකයන් ද සහභාගී වූහ.