Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2023 18:39:32 Hours

55 වන සේනාංකයේ මූලිකත්වයෙන් වෙරළ වොලිබෝල් පුහුණු සැසියක්

යාපනය අර්ධද්වීපයේ, නැඟෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ තරුණියන් අතර වෙරළ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (12) දින තලයිඩි වෙරළ තීරයේදී එම ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් වොලිබෝල් පුහුණු සැසියක් පවත්වන ලදී.

යුද්ධ හමුදා වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුහුණු සැසිය සඳහා යාපනය අර්ධද්වීපයේ ක්‍රීඩා සමාජ 15 ක සාමාජිකයින් සහභාගී වී පුහුණුවීම්වල නිරත වූ අතර එහිදී, යුද්ධ හමුදා වෙරළ වොලිබෝල් ක්‍රීඩා පුහුණුකරුවන් සහ සිවිල් ක්‍රීඩා පුහුණුකරුවන් අතර ප්‍රදර්ශන තරඟයක් ද පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 55 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 553 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ මඟපෙන්වීම මත 553 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 12 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම පුහුණු සැසිය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහභාගි විය.

ප්‍රාදේශීය ලේකම් සචින්ද්‍රන් කබිල්රාම් මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මරුතන්කේනි පොලිස් ස්ථානාධිපති, ග්‍රාම නිලධාරීන් සහ ප්‍රදේශයේ ක්‍රීඩාලෝලී තරුණ තරුණියන් 100 කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.