11th May 2023 19:08:46 Hours
පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ නේවාසික විශේෂ අවශ්‍යතා සහිත වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් වෙසක් පුර පසලොස්වක පොහෝ දින නිමිත්තෙන් (මැයි මස 05) විශේෂ බෝධි පූජාවක් සහ සිල් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත්වීය.
‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.කේ.ජී.සී. පැස්කුවෙල් ගේ යෝජනාවකට අනුව රණක්ෂිතයට පත් රණවිරුවන් වෙත ආධ්‍යාත්මික සුවය සැලසීමේ අරමුණින් මෙම පුණ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
පූජ්‍ය කොටුගොඩ බුද්ධරක්ඛිත නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී දිවංගත රණවිරුවන්ට පිං අනුමෝදන් කර රණක්ෂිතයට පත් රණවිරුවන්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ආශිර්වාද එක්කලහ.
වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය සනිටුහන් කරමින් එම සුවතා නිකේතන පරිශ්‍රයේ නේවාසික රණවිරුවන් සහ කාර්යය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් විචිත්‍රවත් වූ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.