Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2023 20:05:18 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ සෙබලුන් දෙදෙනෙකුට නව නිවාස

ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සේවයේ නියුතුව සිටින සහ රණක්‍ෂිතයට පත් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන් වෙනුවෙන් ‘රණවිරු හිසට නව සෙවණක්’ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව පසුගිය දා බිබිල, මහබුරුතයාය සහ ගාල්ල, ඇල්පිටිය ප්‍රදේශයන්හි ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් එම නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ, නිවාස නොමැති යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා නව නිවාස ඉදිකර දීම සෑම යුද්ධ හමුදා රෙජිමේන්තුවක් විසින්ම සිදුකරනු ලබන අතර, ඒ අනුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය ඇතිව බිබිල, මහබුරුතාය ප්‍රදේශයේ ජීවත්වන විවාහක ලාන්ස් කෝප්‍රල්වරයෙකු සඳහා එම නව නිවස ඉඳිකර දී තිබිණි.

ඉකුත් සඳුදා (20) දින පැවති උත්සවයකදී 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් එක්ව සුභ මොහොතින් නව නිවස විවෘත කර නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය. එම අවස්ථාව සඳහා 3 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.ඒ.එච්.බී හේරත්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

මේ අතර, එම ව්‍යාපෘතිය යටතේම 19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එම ඒකකයේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු සඳහා ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දෙන ලදී. පසුගිය සඳුදා (30) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ පැවති උත්සවයකදී නව නිවස විවෘත කර නිවාසලාභීයා වෙත පවරා දෙනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සුජිත් කුලසේකර ගේ ආරාධනයට අනුව එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දනූෂා වීරසූරිය මහත්මිය සහභාගී වූහ.

බෞද්ධ ආගමික වතාවත් සහ චාරිත්‍රානූකූලව සංකේතාත්මකව පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව නිවස නිවාසලාභියා වෙත සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී.