Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2023 22:37:13 Hours

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර උවදුරෙන් විපතට පත්වූවන්ට යුද්ධ හමුදාවේ සහයෝගය

අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෝරුපිටිය ග්‍රාම නිලධාරී වසම තුළ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙත පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ගංවතුර තත්ත්වය ඉහළ යාම හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් පසුගිය සදුදා (15) දින දක්වා සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කරන ලද අතර, යුද්ධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු ට්‍රක් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් යොදාගනිමින් ප්‍රදේශයේ රෝහල් කාර්යය මණ්ඩලයට තම රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා දෙනු ලැබීය.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඹුරුපිටිය - මුලටියාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබූ බැවින් කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් අවශ්‍ය සහන සේවා කටයුතු සිදුකරනු ලැබූහ. ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව යාමට නොහැකි වූ රෝගීන් යුද්ධ හමුදා ට්‍රක් රථ සහ ට්‍රැක්ටර් රථ මගින් නිවෙස් වෙත රැගෙන යනු ලැබීය.

අඳපාන - කළුගෙදර ප්‍රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකිරීමට යුද්ධ හමුදාවේ සහාය ලබාදුන් අතර, එහිදී 613 පාබල බලසේනාවේ භටපිරිස් 10 දෙනෙකු යුද්ධ හමුදා ට්‍රක් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් මගින් මෘතදේහය සහ අදාල පිරිස සුසාන භූමිය වෙත රැගෙන යාමට කටයුතු කළහ.

12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොරබුවාන, රන්සෑගොඩ ප්‍රදේශයේ පහළ කඩේ කොරබුවාන අසල නිවසක ස්වභාවිකව මිය ගිය 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මෘතදේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට එම මෘතදේහය බෝට්ටුවක් ආධාරයෙන් සුසාන භූමිය වෙත ගෙන යාමට ඥාතීන්ට සහයෝගය ලබාදෙන ලදී.

පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවරල පොලිස් බල ප්‍රදේශයේ අඩොළුව ප්‍රදේශයේ ගංවතුර මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි පදිංචිව සිටි පුද්ගලයෙකු අතුරුදන්ව වී බැවින්, එම පුද්ගලයා සෙවීම සඳහා 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය සදුදා (15) දින උදෑසන සිට සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ කටයුතු වල නිරතවන ලදී.

යුද්ධ හමුදාව වෙත මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සිදුකරන ලද ඉල්ලීමකට අනුව පසුගිය සදුදා (15) දින මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාද්දුව - කඹුරපිටිය මාර්ගයේ ‘බී’ 13 වේල්ල ගංවතුර ව්‍යසනයෙන් හානීවිමට පෙර 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ 20 දෙනෙකුගෙන් යුත් භටපිරිස් කණ්ඩායමක් එම වේල්ල අවට වැලි කොට්ට ඇතිරීමට කටයුතු කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ඒකක අණදෙන නිලධාරින් විසින් එම හදිසි ආපදා මෙහෙයුම් කටයුතු සමීපව අධීක්‍ෂණය කරමින් යුද්ධ හමුදා භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.