Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2023 01:00:16 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිගේ සහභාගීත්වයෙන් ශිෂ්‍යත්ව සහ මූල්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 25) දින රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී සන්නාහ සන්නද්ධ බළකායේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් හා සිවිල් සේවක මහතුන් සඳහා මූල්‍ය ආධාර ප්‍රදානය කිරීම සහ සෙබළෙකුගේ මවක් වෙත රෝද පුටුවක් පිරිනැමීම ද සිදුවිය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (වෛද්‍ය) හර්ෂිණී බෝතොට මහත්මිය සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් එක්ව පාසල් සිසුසිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සහ සෙබලුන්ගේ භාර්යාවන් සඳහා ස්වයං රැකියා අවස්ථා ලබාදී ඔවුන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

උත්සව අවස්ථාවේදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබළුන්ගේ දරුවන් සඳහා රුපියල් 36,000.00 බැගින් ශිෂ්‍යත්ව 20ක් ද, ස්වයං රැකියා අවස්ථා නඟා සිටුවීම සඳහා රුපියල් 60,000.00 බැගින් වූ මුල්‍ය ආධාර හතරක් ද පිරිනැමිණි. තවද, සෙබළෙකුගේ නිවසේ ආරක්‍ෂාව සඳහා තාප්පයක් ඉදිකිරීමට රුපියල් 200,000.00 ක් ද, සිවිල් සේවක මහතෙකුගේ නිවසේ වහල අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 75,000.00 ක මුදලක් ද ලබා දෙන ලදී.

උත්සව අවස්ථාව අතරතුර එක් සෙබළෙකුගේ රෝගී මවක් වෙනුවෙන් රෝද පුටුවක් ද පරිත්‍යාග කරන ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී යුද්ධ හමුදා නර්තන කණ්ඩායම උත්සව අවස්ථාවට වඩාත් ආකර්ෂණීය බවක් එක් කළේය.

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.