Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2023 18:42:13 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත අවශ්‍යතා සහිත පවුලක් වෙත අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත හබරාදූව, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින රුධිර පිළිකාවකින් පීඩා විඳින පියෙකු සහ ආබාධිත දියණියක් සිටින සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලේ සාමාජිකයන් වෙත රෝද පුටුවක් සහ අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බදාදා (23) දින සිදුකෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ මගපෙන්වීම මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් විසින් මෙම ප්‍රජා මූලික වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඉතාලියේ පදිංචිව සිටින කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 87 කණ්ඩායමේ සාමාජිකයෙකු වන ප්‍රභාත් ලියනගේ මහතා සහ එතුමන්ගේ මිතුරෙකු වන රමේෂ් සභා මහතා විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවේදී, ආබාධිත දියණියට නව රෝද පුටුවක් මෙන්ම එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රුපියල් 100,000.00 ක වටිනාකමකින් යුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් ද පරිත්‍යාග කෙරිණි. මීට අමතරව, රු. 30,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් ද රමේෂ් සභා මහතා විසින් එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර, එම සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ජේ.ඊ.එල්. ද සොයිසා ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා එක්වූහ.