Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2023 18:53:39 Hours

අවධානම් අන්දමින් පැවති ගල් පර්වතයක් ඉවත්කිරීමට යුද්ධ හමුදාවේ සහයෝගය

සාමාන්‍ය ජන ජීවිතයට හානිදායක ලෙස කඩුවෙල, දැදිගමුව ප්‍රදේශයේ කුඩා කන්දක බෑවුමෙහි අවධානම් සහගත ලෙස පැවති ගල් පර්වතයක් ආරක්‍ෂිතව එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කටයුතු කරනු ලැබූහ.

පැවති වර්ෂාවත් සමඟ මෙම කඳුකර ප්‍රදේශයේ අවධානම් සහගත ලෙස පැවති ගල් පර්වතය නාය ගොස් ව්‍යසනයක් ඇති විය හැකි බවට ප්‍රදේශවාසීන් විසින් ප්‍රථමයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත කරන ලද දැනුම් දී තිබිණි. ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් එම ගල් පර්වතය අදාළ ස්ථානයෙන් ඉවත්කර සිදුවීමට ගිය විශාල ව්‍යසනයක් වළක්වාගැනීමට සමත්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ගේ මාර්ගෝපදේශ මත එම බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එම කඳු බෑවුම තරණය කිරීමෙන් පසු එළඹුනු නිගමනයකින් අනතුරුව අදාළ ගල් පර්වතය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ අභියෝගය භාරගෙන තිබිණි.

2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එස්. කුමාර ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් පැය දෙකක කාලයක් තුළ ගල් පර්වතය ඉවත්කිරීමට කටයුතු කළහ.

මෙම ක්‍රියාන්විතය සඳහා ශ්‍රම දායකත්වය දැක්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ අවට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණි.