Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2022 17:50:03 Hours

1 වන විශේෂ බලකායේ 34 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

මානූෂීය මෙහෙයුමේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු විශේෂ බලකායේ විරෝදාර රණවිරුවන් සිහිකරමින් 1 වන විශේෂ බළකායේ 34 වන සංවත්සර උත්සවය ඉකුත් සෙනසුරාදා (10) දින නාඋල 1 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

විශේෂ බලකායේ ප්‍රවීණයන් විසින් සංවිධානය කරන ලද පුෂ්පෝපහාර උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ බලකායේ නිර්මාතෘ මේජර් ජෙනරල් ජී. හෙට්ටිආරච්චි (විශ්‍රාමික) සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. එහිදි මානූෂීය මෙහෙයුමේදී දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් මහා සංඝරත්නය උදෙසා දානය පිළිගන්වමින් ආගමික වතාවත් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා විශේෂ බලකායේ මූලික පුහුණු පාඨමාලාව හදාරමින් සිටින නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූ අතර, එහිදි ඔවුන්ට විශේෂ බලකායේ නිර්මාතෘ හමුවීමට සහ සුහදව අදහස් හුවමාරු කරගැනීමට හැකිවිය. එයින් ඔවුන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කරගැනීමට ද අවස්ථාවක් උදා විය.

1980 දශකයේ මුල් භාගයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් රටේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් එල්ල වී තිබු මෙහොතක එවකට මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් දෙදෙනකුගෙන් සහ සෙසුනිලයන් 38 දෙනකුගෙන් සමන්විත ‘කම්බැට් ට්‍රැකර් ටීම්’ (Combat Tracker Team) ලෙස අනු කණ්ඩයක් ස්ථාපිත කරන ලදී.

පසුව මෙම අති දක්‍ෂ සුවිශේෂී සොල්දාදුවන් කණ්ඩායම ‘ක්‍ෂණික විහිදුම් බළකාය’ නමින් ප්‍රකට වී පසුකාළීණව විශේෂ බලකාය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූහ. වර්ෂ 1988 දෙසැම්බර් මස 10 වැනි දින ‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා’ යන ආදර්ශ පාඨය පෙරදැරිව 1 වන විශේෂ බලකා රෙජිමේන්තුව ආරම්භ කරනු ලැබු අතර, එහි ප්‍රථම අණදෙන නිලධාරි ලෙස මේජර් ගාමිණී හෙට්ටිආරච්චි කටයුතු කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා විශේෂ බළකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, 58, 57, 64, සහ 59 පාබල සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, විශේෂ බලකා රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයන්, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ඒකක අණදෙන නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, බළලත් නිලධාරීන්, සෙසුනිලයන් සහ විශේෂ බලකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් මෙන්ම සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.