Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2022 17:49:31 Hours

යුද්ධ හමුදාව විසින් නිර්මාණය කරන ලද ‘ඇටෑච් කේස්’ (Attaché Case) නම් විශේෂ බෑගය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වයි

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ විශේෂ උපදෙස් මත සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද ‘Attaché Case’ නම් ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යා හැකි බෑගයක් අද (2) දින යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජනාධිපතිතුමන් වෙත භාර දෙන ලදී.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට මෙම ‘Attaché Case’ බෑගයන් භාවිතා කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙවැනි බෑගයක් නිර්මාණය කිරීමේ කාර්යය අතිගරු ජනාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දෙමිනි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ සෘජු අධීක්ෂණය යටතේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යුඑස්පී, පීඑස්සී, ප්‍රධානත්වයෙන් යුතුව ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම නවීනතම බෑගය උසස් තාක්ෂණයෙන් යුතුව නිමවා තිබුණි.

උසස් ප්‍රමිතියෙන් යුතුව සකස් කරන ලද මෙම බෑගය අතිගරු ජනාධිපතිතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පිළිගන්වන අවස්ථාවේදී එම බෑගයේ උසස් නිමාව සහ යුද්ධ හමුදාවේ ශිල්පීය හැකියාව මෙන්ම මනා සැලසුම්කිරීමේ හැකියාව පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රසාදයට ලක්විය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ පරිහරණය සඳහා සකස්කරනු ලැබු මෙම බෑගය අනාගතයේ වැඩ භාරගන්නා අතිගරු ජනාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානූකූලව පිළිගැන්වීමට නියමිතව ඇත.