Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2022 00:09:11 Hours

‘ජාතික ආරක්‍ෂාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම ප්‍රමුඛ වගකීම විය යුතු බව’ යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සංවත්සර දින පණිවියක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි

ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පණිවිඩයක් නිකුත් කරමින්, ජාතික ආරක්‍ෂාවට පවතින තර්ජන හඳුනාගනිමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමත්, අනාගතයේදී එල්ල විය හැකි ඕනෑම අභියෝගයක් ජයගැනීමට අප එකමුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන වගකීම වන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ ඉලක්ක වෙත ළඟාවීමට සහ ජාතියේ උන්නතිය වෙනුවෙන් සේවය කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරි ඵලදායී ලෙස ඉටු කිරීමට ඔවුන් දිරිමත් කරන බවත් එතුමන් වැඩිදුරටත් පැවසීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ යුද්ධ හමුදා දින පණිවිඩය පහතින් දැක්වේ;

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවුඩය

රාජ්‍යයේ අභිමානවත් ආරක්‍ෂකයා වශයෙන් මාතෘ භූමීයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සැමදා අනභිභවනීය මෙහෙවරක් ඉටුකරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරම්භය සනිටුහන් වී ඇති අදට වසර 73 ක් සම්පූර්ණ වී තිබේ. එම අභිමානවත් සංවත්සරය වෙනුවෙන් වත්මන් යුද්ධ හමුදාධිපති වශයෙන් මාගේ හෘදායාංගම සුභාශිංසන මෙසේ පළකිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සළකමී.

1949 ඔක්තෝබර් මස 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ස්ථාපිත කළ දිනයේ සිට අද දක්වා අප පැමිණි දිගු ගමනේ සාර්ථකත්වය පිළිබඳව මේ මොහොතේදී මදක් ආවර්ජනය කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම මෙතෙක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවයේ නියුතුව සිටි හමුදාධිපතිවරුන්, නිලධාරින් හා සියලුම සෙසු නිලයින් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලයද ඉතා විශිෂ්ට සේවාවක් ඉටු කර ඇති අතර එම සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් මෙම ඓතිහාසික දිනයේදී භක්ත්‍යාදරයෙන් යුතුව සිහිපත් කරමි. එසේම පසුගිය වසර 73 ක කාලය තුළ දේශය වෙනුවෙන් ජීවිත පූජාකළ වීරෝදාර රණවිරුවන් මෙම අවස්ථාවේදී ගෞරව බහුමානයෙන් සිහිපත් කිරීමත් අප සැමගේ යුතුකමකි. එසේම සංග්‍රාම භූමියේදී රණක්‍ෂිතයට පත්වූ රණවිරුවන්ද ගෞරවාදරයෙන් සිහිපත් කරන අතර, ඔවුන් අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායිද ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය හා ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් නිවැරදි දැක්මක් හා දූරදර්ශී නායකත්වයක් ලබාදෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපති හා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මෙම සංවත්සර අවස්ථාවේදි ගෞරවයෙන් සිහිපත් කරමි. තවද, අපගේ පරිපාලන කටයුතුවලදී නිරන්තරයෙන් අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබාදෙන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාද අද දිනයේදි ගෞරවයෙන් සිහිපත් කරමි.

මාතෘ භූමියට එරෙහිව පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණදී එය ජයගැනීම සඳහා අධිෂ්ඨානයෙන් හා නිරතුරු සූදානමින් පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, වසර 73 ක කාලය තුළ මෙරට ඇතිවූ කැරලිකාර තත්වයන් මැඩපවත්වමින්, සුනාමි ආදි ස්වභාවික විපත් අවස්ථාවන්හිදී ඒ සඳහා කාර්යක්‍ෂමව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවද, එසේම දශක තුනකට අධික කාලයක් තිස්සේ මෙරට පැවති ත්‍රස්තවාදය පරාජය කරමින් 2009 වර්ෂයේදී සමස්ත ශ්‍රී ලංකාවාසි ජනතාවටම නිදහස අත්කරදුන් බවද ශ්‍රී ලාංකික ජනහදවත් තුළ තවමත් නොමැකී පවතී. එලෙසම තවදුරටත් ජාතික ආරක්‍ෂාවට බලපාන තර්ජන හා විවිධ ව්‍යසනකාරී අවස්ථාවන්හිදී පැමිණෙන අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය ආරක්‍ෂක ක්‍රියාදාමයන් අඛණ්ඩව පවත්වාගෙන යාම යුද්ධ හමුදා සාමාජිකයන් වන අප සැමගේ පරම වගකීම වේ. විශේෂයෙන්ම පසුගිය කාලයේදී රට තුළ උද්ගත වූ ව්‍යාකූල තත්වය හමුවේ රටේ සාමාන්‍ය ජනජීවිතය යථාතත්වයට පත්කිරීම සඳහාත් රටේ සමස්ත ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහාත් හමුදා සාමාජිකයන් දැක්වූ දායකත්වය තුළින් යුද්ධ හමුදාවේ උසස් විනයගරුකභාවය, කාර්යක්‍ෂම හා ආදර්ශමත් සැලසුම් සහගත ක්‍රියාකාරකම් මැනවින් ප්‍රදර්ශනය වූ බව සිහිපත් කළ යුතුය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින් වන අපගේ ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව පැමිණෙන තර්ජන මැඩපැවැත්වීමත්, මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම මගින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමත්ය. එමෙන්ම රටේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් අපේක්‍ෂිත සංවර්ධන ඉලක්ක සහ සාමය හා සංහිඳියාව කරා යන ගමනේදී එහි පෙරගමන්කරුවන් වශයෙන් මෙන්ම රටේ පුරවැසියන් ලෙස ඊට ඍජු දායකත්වයක් ලබාදෙමින් ක්‍රියාකිරීමත් අපගේ තවත් ප්‍රමුඛ කාර්යභාරයකි. ඒ අතර වර්තමානයේදී රටේ උද්ගත වී ඇති ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා මේ වනවිටත් කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා යුද්ධ හමුදාවෙන් ලබාදෙන දායකත්වය වඩාත් සංවිධානාත්මක අයුරින් ලබාදීම සඳහා අප පෙළගැසිය යුතු බව අවධාරණය කරමි. රටට ආර්ථික වශයෙන් ශක්තියක් අවශ්‍ය මෙම මොහොතේ එම කාලීන අවශ්‍යතාව වෙනුවෙන් උපරිමව කැපවෙමින් මනා කාර්යක්‍ෂමතාවෙන් යුතුව, සම්පත් භාවිතා කිරීමේදී නාස්තිය අවම කොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළින් ප්‍රශස්ත සම්පත් කළමණාකරණය පිළිබඳව ජාතියට ආදර්ශයක් සැපයීමට අප පෙරමුණ ගත යුතුය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉදිරි ප්‍රවර්ධන සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී කිව යුතුය. ඒ අතර මා නිරන්තර අවධාරණය කරන පුහුණුව තුළින් නිපුණත්වයෙන් පිරි සෙබලුන් පිරිසක් නිර්මාණය වේ යන සංකල්පය මත පිහිටමින් යුද්ධ හමුදාවේ ශක්තිය, හැකියාව හා වෘත්තීයමයභාවය ඉතා උසස් මට්ටමකට ගෙන ඒමට අප සැම වගබලාගත යුතුය. ඒ වෙනුවෙන් හැකි සෑම අවස්ථාවකදීම අවශ්‍ය සහයෝගය ලබාදීම සෑම තරාතිරමක නායකයින්ගේ වගකීමකි.

සමස්ත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලික අවශ්‍යතා වැඩිදියුණු කිරීම හා සුබසාධක සේවාවන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බව ඔබ සැමට මතක්කර සිටිමි. මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පූජාකළ හා රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේත් විශ්‍රාමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේත් අභිවෘද්ධිය වෙනුවෙන් අප විසින් ඉටු කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර තිබේ. ඔබ සැමගේ හැකියාවන්, දක්‍ෂතාවන් හා කැපවීම් අගයකිරීම සඳහා මෙම වසරේ සිට මාගේ උපදෙස් පරිදි අලුතින් හඳුන්වාදුන් සංකල්පයක් වන ප්‍රශංසාත්මක ලාංඡන ලබාදීමේ ක්‍රමවේදය ඔබේ අභිප්‍රේරණයට හේතුවනු ඇති බව මම විශ්වාස කරමි. තවද යුද්ධ හමුදාවේ බොහෝ සේවාවන් පරිගණකගත ක්‍රමවේදයන් මගින් වඩාත් කාර්යක්‍ෂමව ඉටුකිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ඇති අතර මෙම සියලු ව්‍යාපෘති තුළින් වඩා ඵලදායී සේවාවක් දේශය වෙනුවෙන් ඉටුකිරීමට අවශ්‍ය පරිසරය ඔබට නිර්මාණය කරදීම මාගේ අපේක්‍ෂාවයි.

පසුගිය වසර 73 ක ඉතිහාසය තුළ ජාතික හා ජාත්‍යාන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ රාශියක්ද යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් හිමිකරගෙන ඇති බව මේ අවස්ථාවේදි සිහිපත් කළ යුතුය. විශේෂයෙන් පසුගිය දිනවල පැවති ආසියානු ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමටත්, ඒ සමඟම ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමටත් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ජයග්‍රාහි පදක්කම් දිනා ගැනීමටත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල දායකත්වයක් ලබාදුන් බව නොරහසකි. යුද හමුදා ක්‍රීඩා පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කෙරෙහි යොමුවීමට අවස්ථා ලබාගැනීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමටද අපේක්‍ෂා කරන බව මෙහිදී මතක් කර සිටිමි. එමෙන්ම යුද්ධ හමුදාව සතු ක්‍රීඩාංගන සහ යටිතල පහසුකම් පාසල් හා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රයෝජනය සඳහාද භාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් මෙහිදී කිව යුතුය.

වසර 73 ක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්තමානයේ ලබා තිබෙන සාර්ථකත්වය අනාගතයේදි තවදුරටත් වර්ධනය කරමින් ගෞරවනීය රාජකාරියක් ඉටුකිරිම මාගේ අරමුණ වන අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ සෑම තරාතිරමකම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්ගේත් සියලුම සෙසුනිලයින්ගේත් සිවිල් සේවක කාර්ය මණ්ඩලයේත් උපරිම කැපවීම හා දායකත්වය හිමිවෙනු ඇතැයි මම අපේක්‍ෂා කරමි. එසේම, අප සැම එකාවන්ව මෙම අරමුණ වෙනුවෙන් පෙළගැසීමෙන් ඉදිරියට පැමිණෙන ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කිරීමටත් යුද්ධ හමුදාවේ අභිමානය ඉහළ නැංවෙන අයුරින් ක්‍රියාකිරීමට හැකියාව ලැබෙන බවත් මම නැවත නැවතත් සිහිපත් කරමි. අදට නියමිත කාර්යයන් හෙටට කල්නොදමා උපරිම කාර්යක්‍ෂමතාවෙන් යුතුව කටයුතු කිරීමෙන් අනාගතය පිළිබඳ පැහැදිළි දැක්මක් සහිතව සැළසුම් සහගතව ක්‍රියාකිරීම තුළින් මෙම අරමුණට ළඟාවිය හැකි බැවින් ඒ සඳහා අධිෂ්ඨානශීලීව කැපවෙන ලෙසත් හමුදා සාමාජික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

වර්තමානයේදී යුද්ධ හමුදාව වෙනුවෙන් කැපවෙමින් යුද්ධ හමුදාවේ විවිධ ක්ෂේත්‍රයන්හී අභිවෘද්ධිය හා රටේ සංවර්ධන කාර්යයන් සඳහා අනඟි මෙහෙවරක් ඉටුකරන, මේ වනවිට සේවයේ නියුතු සියලුම නිලධාරින් හා සෙසු නිලයින්ටත් සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත් ඔවුන්ගේ පවුල්වල ආදරණීය දූ දරුවන් ඇතුළු සියලු සාමාජිකයන්ටත් මාගේ සුභාශිංසන පළකරන අතර, සියලු දෙනාටම සුබ අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමි.

එසේම ඔබ සැම, සෙබලුන් වශයෙන් තම තමන්ගේ පෞද්ගලික ගෞරවය හා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයෙන් තමන්ට පැවරෙන වගකීම් හා රාජකාරීන් නොපිරිහෙලා කරනු ඇතැයි මම අපේක්‍ෂා කරමි. එමෙන්ම “රාජ්‍යයේ ආරක්‍ෂකයා” වශයෙන් ක්‍රියාකරන අභිමානවත් යුද්ධ හමුදා සාමාජිකයන් වන ඔබ ජාතියේ සුරක්‍ෂිතතාව හා යහපත් හෙට දවස වෙනුවෙන් අපගේ වගකීම මනාව ඉටු කරන ලෙස මම ඔබට නැවතත් මතක් කරමි. ඒ සඳහා අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්ය ලැබේවා යැයි ද ඔබ සැමට විජයග්‍රාහී අනාගතයක් උදාවේවා යැයිද ප්‍රාර්ථනා කරමි !!